ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන මහාචාර්ය නලීන් ද සිල්වා ගේ හිටපු ගෝලයෙකු අතීතය ආවර්ජනය කරයි
කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපාධිධාරියෙකු සහ මහාචාර්ය නලීන් ද සිල්වා සර්ගේ ගෝලයෙකු වූ මා අද විදේශ රටක වෙසෙමි. අපගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳව මගේ සමකාලීනයන් බොහේ දෙනෙකුට ඇත්තේ මිශ්‍ර හැඟීම් බව ඉඳහිට ඔවුන් සමග කතා කරන විට මට අවබෝධ වේ. සමහරක් මගේ මිතුරන් ඔවුන් එකල මහාචාර්ය නලීන් ද සිල්වා සර්ගේ ගෝලයන් ව සිටි බවද කීමට අකමැති බව මම දනිමි. මිනිසුන්ගේ රුපන්තරණය ස්වභාවිකය. නමුත් වර්තමානයේ එතුමාගේ ගෝලබාලයන්ට යම්කිසි උපදෙසක් දීමට අවශ්‍ය බව මම සිතමි. ඒ මන්ද යත් ඔවුන්ද අප මෙන් අන්ධක්රියාවාදීන් වී අවසානයේදී සමාජය දෙස වෛර සිතින් බලන්නන් වන නිසාය. වාසනාවකට මෙන් මට මගේ දුරින් ඥාති වන (ඔහුගේ අනන්‍යතාව හෙළි නොවනු වස් ඔහුව සේන අයියා ලෙස මම හඳුන්වමි) අයියා කෙනෙකුගේ මාර්ගෝපදේශනය නොලැබෙන්නට මමද නලීන් ද සිල්වා සර්ගේ බොහෝ ගෝලයන් මෙන් එක්කෝ ඔහු ගැන අන්ධ භක්තියෙන් වන්දනා කිරීමද නැතහොත් ඔහුගේ විරුද්ධකරුවන්ගේ කඳවුරු වලට බැඳී ඔහුට අපහාස කිරීමටද ඉඩ ප්‍රස්ථාව තිබුණි.
මට මහාචාර්ය නලීන් ද සිල්වා හමු වන්නේ 1980 දශකයේ මුල් කාලයේදීය. ඔහුගේ දැනුම සහ ජාතික උරුමයන් ගැන තිබු අදහස් මම අගය කලෙමි. එසේම කොටි ත්රස්තවාදයට එරෙහි ඔහු ඉදිරිපත් කල මතවාදයටද අප ඔහු කෙරෙහි පැහැදුනෙමු. අප ඔහුගේ ගෝලයන් වුයේ එම නිසාය. ජාතික චින්තනය හිස එසවූ මේ කාලයේදී අප එතුමාගේ උපදෙස් පරිදි ජාතික චින්තනය විශ්ව විද්‍යාල වල ප්‍රචලිත කළෙමු. විශ්ව විද්‍යාල වල ඩෙනිම් ඇඳීමට, කොකාකෝලා බීමට අපි අනියම් තහනමක් පැමිනුවෙමු. මෙම තහනම කඩ කල සිසු සිසුවියන්ට වාචික අපහාස, පෝස්ටර් අපහාස මෙන්ම ඇතැම් විට කුණු වතුර බකට් කිරීමද අප කල බව කියන්නේ යම් කණගාටුවක් හිතේ දරාගෙනය. අද දිනයේ මට හැඟෙන්නේ ජාතික චින්තනය කියා අප බදාගෙන සිටියේ අමුතුම විකාරයකි. එය අන්තවාදය, හිංසනය යොදාගනිමින් කල නාඩගම් රඟපෑමකි. මෙවැනි විකාර නොකර මහත්මා ගාන්ධි මෙන් අප අවිහිංසාවාදී මාර්ගයේ ගොස් බුද්ධිමය සාකච්චා මගින් පුද්ගලයන් දිනා ගත්තේ නම් ජාතික චින්තනයට එළදායි දීර්ග ගමනක් යාමට ඉඩ තිබුණි. විශ්ව විද්‍යාලවල නමට පමණක් බුද්ධිමය සාකච්චා තිබුණු නමුත් ඒවා විරුද්ධවාදීන්ගේ පුද්ගලික ජිවිත අරබයා කල අපහාස, අභූත චෝදනා , කැලැ පත්තර , කුණු බිත්තර ප්‍රහාර මෙන්ම ඇතැම් විට අතින් පයින් ද කල සාකච්චා විය.
මේ කාලයේදී මහාචාර්ය නලීන් ද සිල්වාගේ බලපෑම මත සිසුන් බොහෝ දෙනෙකු ඉංග්‍රීසි ඉගෙනගැනීම අතර දැමුහ. ඔවුන් දේශීය චින්තනයට හැඩගැසුනහ. මේ කාලයේදී සේන අයියා අප කල විකාරය ගැන තදබල විවේචන අතහරින ලදී. මම සේන අයියා සමග පැය ගණන් විවාද කලෙමි. අවසානයේදී අප කරගෙන යන විකාරය ගැන මට යම් අවබෝදයක් ලැබුණි. මම එයට සදා සේන අයියාට නය ගැති වෙමි. ඔහුගේ උපදෙස් නිසා මගේ ඇස් හැරුණි. මම නොකඩවා ඉංග්‍රීසි ඉගෙන ගැනිමටත් TOFEL , SAT විභාග කිරීම ආරම්භ කලෙමි. සේන අයියා මා ඇමරිකානු මධ්‍යස්ථානයට ගෙන ගොස් මගේ උපාධියට ගැලපෙන අඩු ගාස්තු අය කරන ඇමරිකානු විශ්ව විද්‍යාලයක් සොයා දුන්නේය. දේශීය විශ්ව විද්‍යාල වසා තිබු ඒ යුගයේදී මම ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණියෙමි. එසේ නොපැමිණියේ නම් මගේ ජිවිතයද අනතුරට ලක් වීමට හොඳාකාරව ඉඩ තිබුණු බව මට සිතේ. අසීරුවෙන් රැකියාවක් කරමින් ඇමරිකාවේ සරසවියක අධ්‍යාපනය ලබාගෙන පසුව හොඳ රැකියාවක් ලබා ගැනීමට හැකි වුයේ සේන අයියාගේ මගපෙන්වීම නිසාය.
බොහෝ කාලයකට පසු යලි පසුපස හරි බලන විට මට බොහෝ වෙනස්කම් පෙනේ. මහාචාර්ය නලීන් ද සිල්වාට යලි රැකියාව ලැබී තිබේ. එයට මම සතුටු වෙමි. නමුත් කාලයත් සමග එතුමා වෙනස්වී නැති බව මට සිතේ. එදා එතුමා ළඟ සිටි ගෝලබාලයන් බොහෝ දෙනෙකු අද එතුමා ළඟ නැත. මතවාදීව මහාචාර්ය නලීන් ද සිල්වා සමග අද දිනයේ මම එකඟ නොවෙතත් මම ඔහුට තවම ඇලුම් කරමි. නමුත් ඔහු අත්දැකීම් අඩු සිසුන් හට දෙන මතවාදය ඔවුන්ට හානිකර බව මම දනිමි. ඒ මන්ද යත් කාලයක් මමද එම මතවාදයේ බැතිමතෙකුව සිටි නිසාය. සේන අයියා නොසිටින්නට මමද අපගේ සියලු අසාර්තකවීම් , ගැටළු, අසහනවලට බටහිරට බැන වදිමින් සිටින නියලුවෙකු වීමට ඉඩ තිබුණි.
අප සමග සිටි මහාචාර්ය නලීන් ද සිල්වා සර්ගේ සමහර ගෝලයන් අද ඇමරිකන්කාරයන්ටත් වඩා බටහිරකරණයට ලක් වී තිබේ. සමහරක් අද නන්නත්තාර වී සමාජයට බනිමින් සියලු දේ කෙරෙහි වැරදි සොයමින් සිටිති. සමහරු කෙලින්ම ඔහුව අතහැර ඔහුගේ විරුද්ධවාදියා වූ මහාචාර්ය ජී එල් පිරිසගේ පිලට එක්වී සිටිති. (මා එය අනුමත නොකරන බව එකහෙලාම කියමි)
අද දිනයේ කැලණිය සරසවියේ සිදුවන්නේ අප එදා කොළඹ සරසවියේ කල හරඹයන් බව මට සිතේ. බාහිර ලෝකය ගැන අත්දැකීමක් නොමැතිව ගුරුන්නාන්සේ පවසන දේ ප්‍රශ්න කිරීමකින් තොරව විචාර බුද්ධියෙන් විමසා නොබලා අප එදා කලාක් මෙන් නව සරසවි සිසු පරපුරේ සමහරුද අවිචාර ගමනක් යති. සත්‍ය වැටහෙන විට ඔවුන් ප්‍රමාදය.
ජාතික චින්තනය යනු නරක දෙයක් නොවේ එය අප උකහා ගතයුතු , වැඩිදුර වර්ධනය කරගතයුතු ප්‍රයෝගික දැනුම සම්භාරයකි. නමුත් මෙම ගමන ගියේ අන්තවාදී මාවතකය. එමනිසා එය අසාර්ථක විය. මහාචාර්ය නලීන් ද සිල්වා බටහිරට නිතරම බැන වැදුනද බටහිර ලෝකයේ අප රටේ නැති මානව ගුණාංග තිබේ. එය ගැන බටහිර ලෝකයේ ජීවත්වූ පිරිස දනිති. එම නිසා බටහිර වූ පලියට අපි සෑම දෙයම හෙළ දැකිය යුතු නැත. මම සුළු උදාහරනයක් දෙමි. ලංකාවේ කාන්තාවකට නිදහසේ බස් රථයක ලිංගික හිංසනයට ලක් නොවී යා හැකිද ? නමුත් බටහිර ලෝකයේ කාන්තාවකට නිදහසේ බස් රථයක ලිංගික හිංසනයට ලක් නොවී යා හැක. මෙවැනි උදාහරණ බොහොමයක් තිබේ. එම නිසා අප වඩාත් මැදහත් සිතින් කරුණු සලකා බැලිය යුතු බව සිතේ.
(අනන්‍යතාවය හෙළි නොකිරීමේ පොරොන්දුව පිටඇමරිකාවේ මිචිගන්හි වාසය කරන මහාචාර්ය නලීන් ද සිල්වා ගේ හිටපු ගෝලයෙකු සමග සාකච්ඡා කලේ රොෂෙල්. අකුරු ඇමුණුම සහ පරිවර්තන සහය අමිල ගුණරත්න )
Post a Comment