ශාන්ත විඡේසූරිය
උපුටා ගැනීම රාවය
වර්ෂ 1981 පැවැත්වූ සංවර්ධව සභා ඡන්දයෙන්, අවුරුදු 30ට පසු 2011 ජූලි 23 වන දා පැවැත්වූ පළාත් පාලන මැතිවරණය වාර්තා කිරීම සඳහා අපි කිලිනොච්චිය බලා ගියෙමු.
ඒ9 මාර්ගය ඔස්සේ ගමන් කළ අපට දැක ගැනීමට ලැබුණේ, වහලවල් හා ජනෙල් උළුවහු නැති, ඊයම් බරු වැදී තුවාල වූ බිත්ති සහ ෂෙල් වෙඩි වැදීම නිසා කරටි කැඩී ගිය තල් කඳන්ය. මේ තල් කඳන් සහ කැඩී බිඳී ගිය ගොඩනැගිලි අවුරුදු 30ක් පැවති යුද්ධයේ නරුම බව ලෝකයාට කදිමට කියාපායි.
පළාත් පාලන ආයතන කිහිපයක් හැරුණුකොට, අනිකුත් පළාත් පාලන ආයතන විසිරුවා හැර නැවත මැතිවරණය 2010 මාර්තු 21 දින පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත් රාජපකෂ ආණ්ඩුව මැතිවරණය එක විට තැබුවහොත් තමන්ට ජයග්‍රහණ කළ නොැහැකි යැයි යන සැකය මත, එම මැතිවරණය අදියර 3 කින් පැවැත්වීමට සැලසුම් කළේය. එම සැළසුමට අනුව දෙවන අධියර ලෙස උතුරු නැගෙනහිර සහ දකුණේ මහනගර, නගර සභා ප්‍රාදේශීය සභා ගණනාවක ඡන්දය ජුලි මස 23 දා පැවැත්විය. දකුණේ සමාජයට ජූලි 23 දා අමතක කර දැමිය හැකි දිනයක් වුවද දෙමළ සමාජයට ඒ දිනය අමතක වන හෝ අමතක කළ හැකි දිනයක් නොවේ. මන්ද යත් දකුණේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් එවකට පැවති (එජාප) ආණ්ඩුවේද පූර්ණ ආශිර්වාදය මැද සිංහල ජනයා සමඟ සහෝදරත්වයෙන් දකුණේ ජීවත් වූ දෙමළ ජනයාගෙන් පිරිසක් මරා දමමින් ඔවුන්ගේ දේපල කොල්ලකමින් ජූලි විසිතුන්වැනිදාවකට එළිවන්නටය. පණ බේරාගත් දෙමළ ජනයාට දකුණෙන් පලා යන්නට සිදුවුණේ ජූලි 23 දාකය.
සිංහල සමාජය සමඟ සංහිදියාවෙන් ජීවත් වූ දෙමළ ජනයාට වෙන්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි යන තැනට දෙමළ සමාජය ඇද දැමූ තීරණාත්මක සංධිස්ථානය වන්නේ 1983 ජුලි 23 දා ඇති වූ සිද්ධියයි.
රාජපකෂ ආණ්ඩුවට තිස්වසරක යුද්ධයෙන් පසු, උතුරේ දෙමළ ජනයා දිනා ගැනීම කෙසේ වෙතත්, ඔවුන්ගේ අභිලාෂයන් තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත් බව, ජුලි 23 වැනි දිනක උතුරේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් ඔප්පු කොට ඇත.
1981 සංවර්ධන සභා ඡන්දයෙන් පසු තමන්ගේ නියෝජිතයෙකු ගමට පත් කර ගැනීමට උතුරේ දෙමළ ජනයාට ලැබුණු පළමු අවස්ථාව මෙම පළාත් පාලන මැතිවරණයයි.
ඡේ ආර් ජයවර්ධන මහතාගේ පාලනය යටතේ පැවති සංවර්ධන සභා ඡන්දය, ආණ්ඩුවේ මැර බලය සහ දූෂිත ක්‍රමවේදයක් භාවිත කොට ජයග්‍රහණය කළේය.
උතුරේ සංවර්ධන සභා ඡන්දයේදී මහදවල් ඡන්ද පොළ නියෝජිතයන් එළවා දමා ඡන්ද පෙට්ටි පිරවූ ආණ්ඩුවේ මැරයෝ තමන්ගේ කුහකකම සහ නරුමකම පෙන්වීමට යාපනය පුස්තකාලයටද ගිනි තැබුවෝය.
1981 පැවැත්වූ සංවර්ධන සභා ඡන්ද කොල්ලයට 2011 ජුලි 23 දා පැවැත්වූ පළාත් පාලන ඡන්දයේදී විශේෂයෙන්ම උතුරේදී මුදාහල මැර බලය දෙවැනිවන්නේ නැත. ඇයි අප එසේ කියන්නේ? 1981 සංවර්ධන සභා මැතිවරණය පවත්වන විට බලයේ සිටියේ ජනාධිපති ඡේ.ආර්.ජයවර්ධන මහතාගේ ආණ්ඩුවකි. අද අවුරුදු 30ට පසු බලයේ සිටින්නේ ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ආණ්ඩුවකි. පුද්ගලයන් මාරු වී පකෂ මාරු වුවත් බලයේ සිටින්නේ එකම පන්තියකි. ඡේ.ආර් අනුගමනය කළේ මැකියාවේලිගේ න්‍යායයි. රාජපකෂ අද ඡේ.ආර් වත් අභිබවමින් සිටින බව පෙනේ.
සංවර්ධන සභා ඡන්දයේදී ඡේආර්ගේ මැරයන් ඡන්ද මධ්‍යස්ථානවලට බලහත්කාරයෙන් පැන ආණ්ඩව ඡන්ද කොල්ල කෑම හා රාජපකෂ ආණ්ඩුව තමන්ට එරෙහිව වැටෙන ඡන්ද වැළැක්වීමට ආයුද සන්නද්ධ මැරයන් ඡන්දයට පෙර රාත්‍රියේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කරන ලද ගම්වලට පිටත් කර යවා ඡන්ද දායකයන් බිය වැද්දීමද ක්‍රියාවලීන් දෙකක් නොවේ. බියවැද්දීමට අමතරව, වියලි ආහාර ද්‍රව්‍ය හා මුදල් ලබා දෙමින් ඡන්දයට පෙර හා ඡන්ද දිනයේ මංමාවත් හදමින් සහ සමහර ප්‍රදේශවල ඡන්ද අපේකෂකයන් පැහැරගෙන ගොස් බලපෑම් කර ඡන්දය ලබා ගැනීමට ද ආණ්ඩුව උත්සාහ කළේය.
ආණ්ඩුවේ මෙම මැර ක්‍රියාවන් සඳහා යුද හමුදා බුද්ධි අංශයේ ඊ.පී.ඩී.පී සංවිධානයේ සහ පුනරුත්ථාපනය වී ගම්වලට පැමිණි එල්.ටී.ටී.ඊ සාමාජිකයන් යොදවාගත් බවද ගම්වැසියෝ අප සමග පැවසූහ.
මම ගෙදර ඉන්න කොට ත්‍රීවිල් එකක් අපේ මිදුලෙ නතර කරන සද්දයක් මට ඇහුනා. පස්සෙ ත්‍රීවිල් එකෙන් දෙන්නෙක් බැහැලා අපේ ගෙට ඇතුලුවුණා. ගෙට ඇතුල් වුණු එක් අයෙක් ආ උඹ ඡන්දෙ කරනවා නේද? කියලා මගෙන් ඇහුවා.
මම ඔව් කිව්වා. උඹ ඡන්දය කරන්නේ බයිසිකලෙන් ගිහිල්ලා නේද? කියලා මගෙන් ඇහුවා. අපේ පකෂයට (සන්ධානයට) බැඳුනානම් ලකෂ 25ක් දෙනවා කිව්වා. පස්සේ අපිත් එක්ක යමු කියලා කථා කළා. මම යන්න අදිමදි කළා. ඒ අවස්ථාවේ මගේ බිරිඳ හිටියේ මා ළඟයි. ගෙදරට ආපු අනෙක් පුද්ගලයා ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක උස්සලා ඉනේ සඟවාගෙන තිබුණු පිස්තෝලය පෙන්නුවා. පස්සේ බිරිඳ බයවෙලා මට ඒ අය සමඟ යන්න කියලා කිව්වා. පස්සේ ඒ අය සමඟ ත්‍රීවිල් එකේ නැගලා ගියා. කෝනාවිල් හන්දියෙන් තවත් දෙන්නෙක් නැග්ගා. පස්සේ කිලිනොච්චියේ නගරයේ ඩිපෝ හංදියෙන් දෙන්නෙක් බැස්සා. මාව ඩිපෝව හංදියේ පෞද්ගලික රෝහලක් වන පොන්නම්බලම් රෝහලට අරගෙන ගියා. එම රෝහලේ තමයි කිලිනොච්චියෙ සන්ධාන කාර්යාලය තිබුණේ. කාර්යාලය ඇතුළට මාව අරගෙන ගියා.
කාර්යාලය ඇතුලේ ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ පුත් නාමල් රාජපකෂ මහතා හිටියා. ඔයා ඡන්දය ඉල්ලනවා නේද කියලා මගෙන් ඇහුවා. මම ඔව් කිව්වා. අපට උදව් කරන්න. මම ඔයගොල්ලගේ පාර හදලා දෙන්නම්, ලයිට් දෙන්නම් කියලත් කිව්වා. වාහන වගයක් පෙන්නලා කිව්වා මෙතන තියෙන ඕනෑම වාහනයක් තෝරාගන්න කියලා නාමල් මහත්තයා මට කිව්වා. පුතාට බැංකුවෙ රස්සාවක් දෙන්නම් කිව්වා. දැනට ස්වේච්ඡා ගුරුවරියක් ලෙස වැඩකරන පුතාගෙ බිරිඳට ස්ථීර ගුරුපත්වීමක් දෙන්නම් කියලත් කිව්වා.
පස්සේ නාමල් මහත්තයා නැගිටලා මට අතට අත දුන්නා. නාමල් මහත්තයා මට අතට අත දෙනකොට පිංතූර ගන්නවත් වීඩියෝ කරනවාත් මා දැක්කා. මං බයට උදව්කරන්නම් කියලා නාමල් මහත්තයාට පොරොන්දු වුණා. ඊට පස්සේ මාව මඟට ගෙනවිත් දැම්මා. නාමල් මහත්තයා මා සමඟ හොඳට දෙමළෙන් කතා කළා.
දෙමළ ජාතික සන්ධානයෙන් කරච්චි ප්‍රාදේශීය සභාවට අංක 20න් තරඟ කළ සින්න සියා සුප්පයියා මහතා ඉහත ප්‍රකාශය කළේ, මැතිවරණ නිරීකෂකයන් දැනුවත් කිරීම සඳහා කිලිනොච්චියේ එම කාර්යාලයේ ජුලි 22 දා සවස පැවති සාකච්ඡාවේදීය.
සුප්පයියා මහතා තමන්ව බලහත්කාරයෙන් රැගෙන යෑම පිළිබඳව කිලිනොච්චි පොලිසියට පැමිණිලි කොට ඇති අතර දෙමළ ජාතික සන්ධානය මේ පිළිබඳ පැමිණිල්ලක් මැතිවරණ කොමසාරිස්වරයාට කළ බවත් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ධරන් මහතා අප සමඟ පැවසීය. දිස්ත්‍රික්කය පුරා මැර කල්ලි මෙහෙයවමින් කටයුතු කළේ පරන් නමැති පුද්ගලයා බවද සුප්පයියා මහතා වැඩිදුරටත් පවසයි.
ජුලි 22 දා උදේ 8.30 ට පමණ රාමනාදන්පුරම්, ජම්බුකොලමිනි ප්‍රදේශයට පැමිණි නමුදු සෙබළුන් හතර දෙනෙක් එම ප්‍රදේශයේ ඡන්දකාඩ් එකතු කර දෙන්නැයි ආර්.ඩී.එන් (ග්‍රාම සංවර්ධන නිලධාරී) ලා ගෙන් ඉල්ලා තිබේ.
හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම්වලින් සැරසීගත් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් ජුලි 22 දා දහවල් වට්ටකච්චි ප්‍රදේශයට පැමිණ නිවාස ප්‍රශ්න විසඳා දෙන්නේ යැයි පවසා ආණ්ඩුවට ඡන්දය දෙන ලෙස ඉල්ලා තිබේ. ඡන්දය නොදුනහොත් නිවාසවලට ලබා දෙන ණය අහෝසි කරන බවටද තර්ජනය කොට ඇත.
නැවත පදිංචි කළ පලේයි අර්ෂචනෙන්ති, කම්බකාච්චි ප්‍රදේශයේ ජූලි 21 දා රාත්‍රියේ පිහි පෙන්නා ඡන්ද කාඩ් පැහැරගෙන ගොස් ඇති අතර එම ප්‍රදේශයේ පදිංචි ශිව මූර්ති නමැත්තාගේ පවුලේ පමණක් ඡන්ද කාඩ් 11ක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ඔහු පලේයි පොලිසියට පැමිණිල්ලක් කොට ඇත.
කිලිනොච්චි කොනාවිල් මලයාලම් ප්‍රදේශයේ ගම් වැසියන් පිරිසකට දෙමළ ජාතික සංධානයට ඡන්දය දුනහොත් මරා දමනවා යැයි කියා පහර දී තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවෙකු වන ශාන්තන් මහතාට අයත් පලේයි නගරය ආසන්නයේ පිහිටා ඇති අරි වෝලි පෞද්ගලික අධ්‍යාපන ආයතනයට ජුලි 18 දා පාන්දර මැර පිරිසක් විසින් ගිනි තබා තිබිණි. එම මැර පිිරිස ශාන්ත කුමාර් මහතාගේ නිවසට හා එහි තිබූ බඩු මුට්ටුද විනාශ කර ඇති බවත් දැනගන්නට ලැබුණි.
කිලිනොච්චිය පුදුමුරිප්පු වික්නේෂ්වරා විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පැමිණෙන ඡන්දදායකයන්ට සන්ධානයේ ආධාරකරුවන් රුපියල් 1000ක්, සන්ධානයේ බුලත් කොළය සහ කතිරය මුද්‍රණය කළ ගිනි පෙට්ටියක් සහ වියළි ආහාර ලබා දෙමින්, බුලත්කොළයට ඡන්දය දමන්නයැයි බලපෑම් කළහ. (මෙය අපගේ ඇසින් දුටු සාක්ෂියකි.)
සෙල්ව නගරවල පිහිටි ජී.ටී.එම්.එන් පාසලට යන පාර ජුලි 23 දා කොන්ක්‍රීට් කරන අයුරු අපට දැක ගැනීමට හැකිවිය. සෙල්ව නගර් ප්‍රදේශය ජුලි 22 දා රාත්‍රියේ Aණ 47 හා බයිසිකල් චේන්වලින් සන්නද්ධව පැමිණි 50 දෙනෙකුගෙන් යුත් මැර පිරිසක් කුප්පිලාම්පු නිවා දමන්නැයි නිවැසියන්ට නියෝග කොට ඡන්ද පත්‍රිකා පැහැරගෙන ගොස් ඇත. සමහර ඡන්ද පත්‍රිකා තමන් ඉදිරිපිටදීම ඉරා දැමූ බවත් ඔවුහු පවසති. මෙම මැර පිරිස ඊපීඩීපී සන්ධානයට අයත් පිරිසක් බවත්, ඔවුන්ගෙන් කීපදෙනෙක්ම, අපි ජීටීඑම්එන් පාසලේ තිබූ ඡන්ද මධ්‍යස්ථානයට ගිය අවස්ථාව් එම ස්ථානයේ සිටි ගැමියෙක් ඇස් අගින් අපට පෙන්වීය. මෙම ගමේ ගෙවල් 750ක් පමණ තිබේ.
රාමනාදපුරම්, තීරුවන්දහාරු සහ මායාවන් ඌර් ප්‍රදේශවල පවුල් 400 කගේ පමණ ඡන්ද කාඩ් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබුණි.
පම්ස්ලෙයිපල්ලි ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පිරිසක් ප්‍රදේශයේ ජනතාවගේ හැඳුනුම්පත් සහ ඡන්ද කාඩ් පැහැරගෙන ගොස් තිබිණි. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළහොත් මරණ බවද තර්ජනය කොට තිබේ. එදිනම එම ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 20ක ඡන්ද කාඩ් එකතු කර තිබේ.
පච්චලෙයි පිල්ලි ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් කලමඩු රංගන් පුදු ඉරිප්පු හමුදා මුරපොළ මගින් ආණ්ඩුවට ඡන්දය දෙන්නැයි එම ප්‍රදේශයේ ජනතාවට පාන්පිටි, සහල්, නූඩ්ල්ස් වැනි වියලි ආහාර වර්ග බෙදා තිබේ. ඊපීඩීපී සංවිධානය මගින් කිලිනොච්චියේ කුවි හාඩ්වෙයාර්ංඑක අසල දී ජුලි 22 දා සවස කරච්චි ප්‍රාදේශීය සභාවට අයත් ජනතාවට වියළි ආහාර බෙදා දී තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණේ අපේකෂකයකු ඡන්ද පොළට ඡන්දය දැමීම සඳහා යමින් සිටියදී, යාපනයේ වලිකාමම් ප්‍රදේශයේදී කළුතෙල් ප්‍රහාරයක් එල්ල විය.
කළුතෙල් ප්‍රහාරයට ලක්වූ ජවිපෙ අපේකෂකයාට යාපනයෙන් පිටවන්නට කළුතෙල් ප්‍රහාරය එල්ල කළ මැරයන් විසින් තර්ජනය කොට තිබේ.
යාපනය දිස්ත්‍රික්කය තුළ මෙන්ම කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළද සෑම ගමකම හමුදා මුර පොළක් හෝ හමුදා කඳවුරක් පිහිටුවා ඇත. සෑම තැනකම දිස් වන්නේ හමුදා නිල ඇඳුම් ඇඳගත් හා සිවිල් ඇඳුමෙන් සැරසී සිටින හමුදා සෙබළුන්ය. ඒ තරමට උතුරේ ජනයා මත සිංහල මිලිටරිකරණයේ ආධිපත්‍යය පතුරුවා ඇත.
ඉහත තොරතුරු සමහරක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශී්‍ර ධරන් මහතා විසින් අප වෙත ලබා දුන් අතර අනිකුත් තොරතුරු අප විසින් එම සිද්ධීන් සිදුවූ ස්ථානවලට ගොස් ජනතාවගෙන් ලබා ගත් ඒවාය.
උතුරේ පළාත් පාලන ඡන්දය ආණ්ඩුව දිනුවත් දිනුම්ය, පැරදුනත් දිනුම් බව ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පශ්චාත් මැතිවරණය පිළිබඳ අදහස් දක්වමින් රජයේ රූපවාහිනියට ප්‍රකාශ කළේය. උතුරේ පළාත් පාලන ආයතන ආණ්ඩුවේ මැර බලය, රාජ්‍ය බලය යොදාගනිමින් සහ දෙමළ ජනතාවට වරදාන ලබා දෙමින් ජයග්‍රහණය කරන්නට උත්සාහ කළද ආණ්ඩුව පරාජය විය.
ආණ්ඩුවේ එම පරාජය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලෝකයට කියාපාන්නක් බව සේනාරත්න ඇමතිවරයා පවසයි.
රාජපකෂ ආණ්ඩුව කබරගොයා තලගොයා කරමින් ගෙන එන වැඩපිළිවෙල මුලින් උපුටා දමනතෙක් දකුණේ හෝ උතුරේ සමාජයට නිදහස් හා සාධාරණයක් භුක්ති විඳීමට නොලැබෙනු ඇත.
Post a Comment