කෝටි 55න් තුනෙන් දෙකක් පිල්ලි ගැසීම

ලෙකෝ සමාගමේ මහා ඉඩම් වංචාව

By anticurruptlk.com

වංචාවක තරම

(November 02, Colombo, Sri Lanka Guardian) ලංකා විදුලි බල මණ්ඩලයට කොටස් හිමි ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) පසුගිය සමයේ සිදුවූ ගනුදෙනුවලදී ඇදහිය නොහැකි තරමේ වංචාවන් ගණනාවක් සිදුව ඇති බව අභ්‍යන්තර විගණනයකින් හෙළිදරව්වී තිබේ. මෙම වංචාවන් සිදුව ඇත්තේ සමාගමට ඉඩම් මිලදී ගැනීමේදීය. ගොඩනැගිලි තුනක් සමග පර්චස් 342.46ක් මිලදී ගැනීමේදී මෙම වංචාව සිදුකර තිබේ. මෙම ඉඩම් සහ ගොඩනැගිලි මිලදී ගැනීම සදහා ලෙකෝ සමාගම දරා ඇති වියදම රුපියල් 54,54,57,500.00 කි (ආසන්න වශයෙන් කෝටි 55) විගණනයට අනුව මින් රුපියල් 30,00,00,000.00 ක් (කෝටි 30ක්) පමණ යටි මඩි ගසා තිබේ. නාවල සහ නුගේගොඩ පිහිටි පර්චස් 211.21 ක් සමග නිවසක් සහ ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී රුපියල් 20,00,00,000.00ක් (කෝටි 20ක්) පිල්ලි ගසා ඇති බවට මේවන විට තොරතුරු සහිතව අනාවරණයවී ඇත.


අපූරු තක්සේරුව

රාජගිරිය නාවල පාරේ අංක 363 ස්ථානයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් සහ විදුලි ප්‍රාථමික උපපොලක් ඉදිකිරීමට ලබාගත් පර්චස් 98.25 ක වපසරියකින් යුත් ඉඩම් කැබලි දෙකක් සදහා ලෙකෝ සමාගම රුපියල් 19,10,00,000.00 ක් ගෙවා ඇත. එහෙත් මෙම නිවස සහ ඉඩම් කැබලි දෙක සදහා රජයේ තක්සේරුව රුපියල් 10,00,00,000.00කි. ඒ අනුව එම ඉඩම් කැබලි දෙක සදහා රපියල් 9,10,00,000.00ක් (නව කෝටි දස ලක්ෂයක්) වැඩිපුර ගෙවා තිබේ. එය එසේ තිබියදී ලෙකෝ ආයතනයේ වංචනික බලධාරීන් මෙම ඉඩම් කැබලි දෙක මිලදී ගැනීම සදහා රුපියල් 23,29,11,000.00ක් නිර්දේශ කර ඇත. කෙසේ වෙතත් මෙම ඉඩම් දෙක මෙතරම් අධික මුදලකට තක්සේරුකරවා ගැනීම සදහා පෞද්ගලික ආයතනයකට රුපියල් 2,33,200.00ක් ගෙවා ඇති බව මේවනවිට හෙළිදරව්වී ඇත.

නුගේගොඩ පිහිටි අනෙක් ඉඩම මිලදී ගැනීෙමිදීද මෙවැනිම ක්‍රියාවලියක් සිදුව තිබේ. එම ඉඩමේ වපසරිය පර්චස් 12.96කි. මෙහි වර්ග අඩි 15,155ක් වූ ගොඩනැගිල්ලක්ද තිබී ඇත. මේ සදහා ලෙකෝ ආයතනය රුපියල් 21,00,00,000.00ක් ගෙවා තිබේ. කෙසේ වෙතත් විගණන වාර්තාවේ පෙන්වාදී ඇති පරිදි එම ඉඩමේ සහ ගොඩනැගිල්ලේ රජයේ තක්සේරුව වන්නේ රුපියල් 10,00,00,000.00 ක් පමණි. ඒ අනුව එම ගනුදෙනුවෙන් රුපියල් 11,00,00,000.00 ක් (කෝටි 11ක්) පමණ පිල්ලි ගසා ඇත.

විනිවිද නොපෙනෙන ගනුදෙනු

නුවර එළියේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සදහා පර්චස් 42.5ක ඉඩමක් හා ගොඩනැගිල්ලක් මිලදීගෙන ඇති අතර එහි තක්සේරුව රුපියල් 5,95,15,000.00කි. එනම් රුපියල් කෝටි 6 කට ආසන්න මුදලකි. මෙම මිලදී ගැනීම සදහා අනුමැතිය පවා ලැබී නැත. නමුත් එම දේපළ හිමිකරුවාට ලබා දි ඇත්තේ රුපියල් කෝටි 2.5ක් පමණි. ඉතිරි රුපියල් කෝටි තුන හමාරට කුමක් සිදුවී ඇත්ද? එය අභිරහසකි. මේ ආකාරයෙන්ම කොටිකාවත්තේ පිහිටි ඉඩමක් මිලදී ගැනීම සදහා රුපියල් එක්කෝටි පනස් දෙලක්ෂයක් වැය කොට ඇත. එහි පර්චසයක් මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 8 බැගිනි. නමුත් එම ප්‍රදේශයේ ඉඩම්වල සැබෑ වටිනාකම රුපියල් ලක්ෂ තුන හමාරක් බව පැවසේ. ඒ අනුව වැරදි ත්ක්සේරුවක් ලබා ගැනීම සදහා විශාල වංචාවක් සිදුකොට ඇති බව පැහැදිලිය. ලොකෝ සමාගමේ විනිවිද නොපෙනෙන ගනුදෙනු එතකින් අවසන් නොවේ. කළුතර වස්කඩුවේ පර්චස් 58.06 ක ඉඩමක් රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයකට මිලදි ගැනීම වංචනික බවට අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව මේවන විටත් පරීක්ෂණයක් සිදුකරමින් තිබේ. කිරිබත්ගොඩ හුණුපිටිය පාරේ ඉඩමක් රුපියල් එක්කෝටි හතලිස් හත් ලක්ෂයකට මිලදී ගෙන ඇත්තේ එම ඉඩම බැංකුවට උකස්කර තිබියදීය. ලෙකෝ සමාගමේ වංචා එබදුය.
-Sri Lanka Guardian