සුනන්ද දේශප්‍රිය
අවසානයේ දී දෙමළ ජනතාව කතා කළහ. ඒ පසුගිය 23වන සෙනසුරාදා පැවැති පළාත් පාලන ජන්දයේ දී ය. මෙයට පෙර දෙමළ ශ්‍රාස්ත්‍රඥයින් සහ දේශපාලනඥයින් විසින් රාජපක්ෂ ආණ්ඩුවට එල්ල කරන ලද චෝදනා දැන් දෙමළ ජනතාව විසින් ද සනාථ කර තිබේ. උතුරෙහි දෙමළ ජනයා රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති බවට දැන් තව දුරටත් සාක්ෂි අවශ්‍ය නැත.
දකුණේ සිංහල ජනයා රාජපක්ෂ පාලනයට දෑත ඔසවා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබිය දී උතුරෙහි මෙවැනි පරාජයක් ලැබූවේ මන් ද?
පළාත් පාලන මැතිවරණය ද පසුගිය වර්ශයන්හි දී පැවැති අනෙක් මැතිවරණයන් මෙන්ම සියළු පාර්ශවයන් සඳහා සමාන තරඟ බිමක් වූයේ නැත. රාජ්‍ය බලය අනිසි ලෙස යොදා ගැනීමෙන් ද රාජ්‍ය සහ මැර ත්‍රස්තවාදය මගින් ද මැතිවරණ ව්‍යාපාරය ගෙන යෑම සඳහා විපක්ෂයට අවාසිදායකවූත් ආණ්ඩු පක්ෂයට ඉතා වාසිදායකවූත් තත්ත්වයක් නිර්මාණය කරන ලද බව විවාදයට කරුණක් නොවේ. විශේෂයෙන්ම උතුරු කරයේ පළාත් පාලන මැතිවරණය පැවැතියේ බල පුළුවන්කාරකම් අතින් කුරුමිට්ටා සහ යෝධයා අතර සටනක් ලෙස ය. යෝධයා වූ රාජපක්ෂ පාලනය ආධාර ඛෙදුවේය. උතුරු වසන්තයේ ප්ලාස්ටික් මල් වර්ණ ගැන්වූයේ ය. ජනාධිපති රාජපක්ෂ, පුත්‍ර නාමල් රාජපක්ෂ සහ සොයුරු බැසිල් රාජපක්ෂ පොරොන්දු වරුසා උතුරට වැස්ස වූහ. රාජපක්ෂවාදී දෙමළ දේශපාලනඥයා වන දේවානන්දා සහ ජනාධිපතිවරයා ඇස් රුදාව හැදෙන තරමටම ජන්ද පෝස්ටර්හි ඇලවී සිටියෝ ය. කිසි දිනෙක නොවූ පරිදි තැන තැන යුද හමුදාව පිරිස් ද ආණ්ඩුවේ ජන්ද සටනට කැදවා තිබුණි.
අනෙක් අතට උතුරෙහි විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයට හරියාකාරව රැස්වීමක් පැවැත්වීමට පවා ඉඩ දුන්නේ නැත. ඔවුන්ට කිසිදු රූපවාහිනී හෝ ගුවන් විදුලි සේවාවක් තිබුණේ ද නැත. එවැනි අවාසිදායක තත්තවයක් යටතේ පවා දෙමළ සන්ධානය ලද ජයග්‍රහණය විසින් පෙන්නුම් කරන්නේ සාධාරණ සහ නිදහස් මැතිවරණයක් පැවැතියේ ඔවුන්ගේ ජයග්‍රහණය බොහෝ සෙයින්ම ඉහළ යාමට තිබූ බවයි. දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණය සටන ගෙන ගියේ යුද්ධයෙන් පීඩාවන්ට පත් දෙමළ ජනයාට යුක්තිය ලබා ගැනීම සහ ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ජාතිකත්වය මත පදනම්ව දේශපාලන විසදුමක් ලබා ගැනීම යන පදනම මත ය.
මේ ජන්ද ප්‍රතිපලයේ ඇත්ත යථාර්තය විසින් අප පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ තීරණාත්මකම ගැටළුව නොවේ නම් ගැටළුවක් කරා කැදවයි. එනම් තිස් වසරක් පැවැති යුද්ධයට හේතු වු දේශපාලන සහ සමාජ ප්‍රශ්නයට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ කෙසේ ද යනු ය.
රාජපක්ෂ පාලනය දෙමළ ජනයාට සුවිශේෂ වූ ජනවාර්ගික ගැටළුවක් ශ්‍රී ලංකාවේ ඇතැයි පිළිගන්නේ නැත. ශ්‍රී ලංකාවේ සුලූතර සහ බහුතර ප්‍රජාවන් ඇතැයි ද එය පිළිගන්නේ නැත. එය යුද්ධයේ හේතුව ලෙස දකින්නේ zමනේා්රාජික ඊළාම් රාජ්‍යයක් මත පදනම් වූ දෙමළ සටන්කාමිත්වයයි. එබැවින් ම සිය දේශපාලන විසදුම ලෙස එය ක්‍රියාවට නගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කර යටිතල පහසුකම් මූලික කර ගත් ආර්ථීක සංවර්ධනයක් ඇති කිරීමේ සැළැස්මකි. ( යටිතල පහසුකම් දියුණු කිරීම යුදකරණය සඳහා අත්‍යවශය කොන්දේසියකි.)
එනයින් උතුරු පළාත් පාලන මැතිවරණ සටන පැවැතියේ රාජපක්ෂ පාලනයේ එකී ආර්ථීක සංවර්ධනය උපාය මාර්ගය (එහි අනිවාර්ය අංග වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම සහ මිලිටරි කරණය ද ඇතිව) සහ දෙමළ ජාතිකත්වය මත පදනම් වූ දේශපාලන විසදුමක් සහ යුද්ධ වින්දිතයිනට යුක්තිය ලබා ගැනීම යන දෙමළ ජාතික සන්ධානයේ උපාය මාර්ගය අතරය.
සිංහල ජනයා අතර සිය උපාය මාර්ගය ජයග්‍රහණය කරවා ගැනීමට රාජපක්ෂ පාලනය සමත් වුයේ කෙසේ ද යන්න වෙනම සාකච්ජාවකට කරුණකි. එසේ නමුත් එකක් පැහැදිලිය. එනම් සිය අයිතීන් කප්පාදුව නොසළකා යුද ජයග්‍රහණය වෙනුවෙන් රාජපක්ෂ පාලනයට බහුතර සිංහල ජනයා දිගටම සහයෝගය දෙමින් සිටින බවයි. මෙමගින් අපට පෙනෙන්නේ දකුණේ සිංහලයින් සහ උතුරේ දමිලයින් අතර දේශපාලන ඛෙදුම් රේඛාව දැන් වඩා පැහැදිල සහ තීව්ර වී ඇති සැටි ය.
ශ්‍රී ලංකාවේ අනාගතය රැඳී පවතින්නේ මෙම ධ්‍රැවීකරණය අවම කොට සැබෑ ප්‍රති සන්ධානයක් ඇති කිරීමට සිංහල රාජ්‍ය පාලකයින් සමත් වන්නේ ද යන කරුණ මත ය. මේ තාක් දුරට නම් රාජපක්ෂ පාලනය පෙන්නුම් කර ඇත්තේ සමානාත්මතාවය සහ යුක්තිය මත පදනම් වු ප්‍රති සන්ධනයක් නොවේ. බලහත්කාර ප්‍රති සංන්ධානයක් ඇති කිරිම සඳහා වන ප්‍රවණතාවකි. දැන් එම පිළිවෙත දෙමළ ජනයා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. ඉදිරියට යෑමට නම් දැන් වෙනසක් අවශ්‍ය ය.
යුද්ධය අවසන් වූ නමුත් අවසන් නොවූ ජනවාර්ගික ගැටළුව වඩාත් ප්‍රවේගකාරි බලයක් ක්‍රමයෙන් අල්ලා ගැනීමට නියමිත බව පසුගිය මැතිවරණ ගණනාවම විසින් අපට පෙන්නුම් කරයි. අද ඇති සාධනීය වෙනස නම් මෙම අරගලය ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රය කරා යළි පැමිණ තිබීම යි. එල්ටීටීඊ යුදවාදී අත්තනෝමතිකත්වය විසින් දුර්වර්ණ කරන ලද දෙමළ ජාතිකවාදී අරගලය මෙම ප්‍රජාත්ත්‍රවාදී අරගලය මගින් යළි සුජාතබවක් අත්පත් කර ගනි.
එසේ වෙතත් රාජපක්ෂ බල ව්‍යාපෘතියේ බලවේග ගොනු වී ඇත්තේ කෙසේද යත් දෙමළ ජනයාගේ අභිලාෂයන් සැපිරෙන දේශපාලන විසදුමක් කරා ගමන් කරමින් නව ප්‍රති සන්ධානයක් කරා ගමන් කිරීමට එයට ඉතා දුෂ්කර ය. එහි මතවාදී කුළුණු වන හෙළ උරුමය, නිදහස් පෙරමුණ, ජාතිකවාදී සංඝ කඳවුර යනාදීහු දැනටමත් දේශපාලන විසදුම යන වචනයට පවා අභියෝගයන් එල්ල කරමින් සිටිති. ජනාධිපති රාජපක්ෂ පවා සිටින්නේ දේශපාලන විසදුමක් අවශය නැත යන මතවාදි කඳවුරේ ය.
එබැවින් අප උපකල්පනය කළ යුත්තේ වත්මන් පාලනය දිගටම දෙමළ ජාතිකත්වය මත පදනම් වු දේශපාලන අභිලාෂයන් නොසළකා ප්‍රජාතන්ත්‍රවාදි අයිතින්ගෙන් තොර සිය ආර්ථීක සංවර්ධන මාදිලිය පමණක්ම උතුරෙහි දී ඉදිරියට ගෙනු යෑමට උත්සාහ කරනු ඇති බවයි. ඒ අරමුණ විසින් දෙමළ ජාතික සන්ධානය විසින් නියෝජනය කරන දෙමළ ජාතිකත්ව දේශපාලනය කෙසේ හෝ පැරද වීම අනීවාර්්‍ය පූර්ව කොන්දේසියක් බවට පත් කරයි. එහි ප්‍රතිපලය වනු ඇත්තේ සමාජිය ධ්‍රැවීකරණය සහ දේශපාලන ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වීමය. මන්ද යත් පැරදවිය නොහැකි තරමට දෙමළ ජාතිකත්ව මතවාදය ශ්‍රී ලාංකික දෙමළ සමාජයෙහි මුල් ඇද ඇති නිසා ය. එය වෙනත් වචනයෙන් කියන්නේ නම් බලය ඛෙදීමට විරුද්ධ සිංහල දකුණ සහ බලය ඛෙදීම ඉල්ලා සිටින උතුර අතර වන අරගලයකි.
ශ්‍රී ලංකාවෙන් පිටත සිදුව ඇති අදාළ වර්ධනයන්ද මෙම චිත්‍රයට එක් නොකර අපට උතුරු දේශපාලනය සම්බන්ධයෙන් ඇතිවිය හැකි වර්ධනයන් තේරුම් ගැනීමට නොහැක. මෙරට යුද්ධයේ විපාක සහ දෙමළ ජනයාගේ අයිතීන් සම්බන්ධයෙන් පොදුවේ අන්තර් ජාතික වශයෙන් ද විශේෂයෙන්ම ඉන්දියානු දේශපාලන කරළියෙහි ද ඇතිවෙමින් යන එකඟතාවය මෑත කිසි කළෙක දක්නට නොතිබූ වර්ධනයකි. ඉන්දියාවෙහි ප්‍රධාන විපක්ෂය වන භාරතිය ජනතා පක්ෂය, ජාතික මට්ටමේ ප්‍රධාන කොමියුනිස්ට් පක්ෂ දෙක, තමිල්නාඩු ප්‍රන්තයේ සියළු දේශපාලන පක්ෂ මෙන්ම පාලක කොන්ග්‍රස් පක්ෂය යුද අපරාධ පරීක්ෂනයක් ඉල්ලා සිටීමේ සිට උතුරු නැගෙනහිර දෙමළ ජනයාට ස්වයං පාලන දේශපාලන විසදුමක් ලබාදීම හදිසි අවශ්‍යතාවයක් ය යන ස්ථාවරය කරා පැමිණ සිටිති.
පකිස්ථානය සමඟ පැවැති සිය උපායික සන්ධානය දුර්වල වෙමින් ඇති පසුබිම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ඇති වෙමින් පවත්නා පුළුල් සහයෝගය ද මෙම සාධකයටම එක් වේ. මන්ද යත් යුද්ධයේ අවසන් අදියරේ මානව හිමිකම් උල්ළංගනයන් සහ දෙමළ ජනයාගේ අයිතීන් සම්බන්ධයෙන් දෙරටම යම් දුරකට සමාන අදහස් දක්වා ඇති නිසා ය. එමෙන්ම දෙමළ ජාතිකත්ව ව්‍යපාරයට මහත් සවියක්, ජවයක් සහ හඩක් ලබා දෙන ලක්ෂ සංඛ්‍යාත දෙමළ ඩයස්පොරාව ද මේ සමීකරණයේ තීරණාත්මක සාධකයක් වේ. මේ සියල්ල විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකත්ව ව්‍යපාරය ශක්තිමත් කරන අතර එය මර්දනයෙන් මැඩලීම දුෂ්කර කරයි. යම් හෙයකින් හෝ එවැනි මර්දනයක් ඇති වුවහොත් එය විසින් අනපේක්ෂිත විපාක ඇති කිරිමට ඇති ඉඩ වැඩි ය.
පළාත්පාලන මැතිවරණයෙන් යළි තහවුරු වූ පරිදි දේශපාලන වශයෙන් ඛෙදී ගිය උතුර සහ දකුණ එක් කිරීමට යුද්ධාවසානය අසමත් වී තිබේ. එපමණක් නොව දෙමළ ජනයාගේ ජාතිකත්වය මත පදම් වූ දේශපාලන ව්‍යාපාරය අවසන් කිරනු වෙනුවට යුද්ධාවසානය විසින් එය දේශීය සහ අන්තර් ජාතික වශයෙන් ශක්තිමත් කර තිබේ. අනෙත් අතට යුද්ධාවසානය විසින් සිංහල ජනයා අතර යුද්ධවාදී ජයග්‍රාහීත්වයක් මුල් බැස ගන්වා ඇති අතර දෙමළ ජනයා සමඟ සැබෑ බලය ඛෙදා ගැනීමකට එම මතවාදී නායකත්වය සූදානමක් නොපෙන්වයි. මෙකී වත්මන් ජනවාර්ගික ධ්‍රැවීකරණයේ සංකේතාත්මක නිදසුනක් නම් යුද අපරාධ චෝදනා විසින් සිංහල ජනයා අතර ජනාධිපති රාජපක්ෂ ශක්තිමත් කරන අතර දෙමළ ජනයා අතර ඔහු සහ ඔහුගේ පාලනය දුර්වල පිරිහීමට ලක් කරනු ලැබීමයි.
ඉදින්, ශ්‍රි ලංකාව මෙතැනින් කොතැනකට ද? නිල නොවනමුත් ඇත්ත ඛෙදීමක් කරා අප ගමන් කරමින් නොසිටින්නෙමු ද? මෙම ගැටුම්කාරී ගමනාන්තය මග හැර යාමට හැක්කේ සමානාත්මතාවය තහවුරු කැරෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යළි පිහිටුවීම මගින් ද? නැතහොත් ආර්ථීක සංවර්ධනයේ නාමයෙන් කැරෙන මර්දනකාරී පාලනය තීව්ර කිරීම මගින් ද?
Post a Comment