ජනාධිපති අරමුදලෙන් කෝටි ගණනක වංචාවක්

ජයසිරි විතාන

සියලුම නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට පටහැනිව ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 1522 ක් කාර්යයන් 7 ක් සඳහා වැය කර ඇති බවත් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සහ දූෂණ සිදු වී ඇති බවත් විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නවතම විගණන වාර්තාවකින් හෙළි වේ.

2008-2009 දෙවසර සඳහා මෙම මුදල් වැය කර ඇති අතර 2010 මාර්තු මස 31 වැනි දින දක්වා එම වියදම් සිදු කර ඇති ආකාරය ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය මගින්ද ජනාධිපතිවරයාට දන්වා නොමැති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව වෛද්‍යධාර සඳහා රුපියල් මිලියන 1383 ක්, දේශීය විදේශීය ශිෂ්‍යත්ව සඳහා රුපියල් මිලියන 77 ක්, සංස්කෘතික කටයුතු සඳහා රුපියල් මිලියන 19 ක්, ආගමික කටයුතු සඳහා රුපියල් මිලියන 32 ක්, ක්‍රීඩා හා කලා කටයුතු සඳහා රුපියල් මිලියන 5 ක්, සුභසාධන කටයුතු සඳහා රුපියල් මිලියන 2ක් සහ අධ්‍යාපන කටයුතු සඳහා 2009 වසර වෙනුවෙන් රුපියල් 826,900 ක් නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට පටහැනිව වැය කර ඇත.

15% පොලී අනුපාතයක් ම. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබා දී ඇති රුපියල් මිලියන 195 ක ණය මුදලට 1996 වසරේ එක් වාරිකයක් පමණක් ගෙවා ඇති අතර 2010 වසර වන විට මෙම ණය මුදල සඳහා ගෙවීමට ඇති පොලිය රුපියල් මිලියන 169 ඉක්මවා ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම ණය මුදල අය කර ගැනීමට නීති මගින් කටයුතු කරන ලෙසට නීතිපතිවරයාටද දන්වා ඇතත් 2010 අප්‍රේල් දක්වා නීතිපතිවරයා කිසිම පියවරක් මේ සම්බන්ධයෙන් ගෙන නොමැත.

2009 දෙසැම්බර් 31 වන විට රෝගීන් 1196 දෙනෙකුට රුපියල් මිලියන 184 ක් වෛද්‍යාධාර ලෙස ගෙවීම් සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතත් එම ගෙවීම් කිසිවක් සිදු කර නැත.

2008-2009 කාලය තුළ රෝගීන් 32 ක් වෙනුවෙන් සමාජ සුභසාධක අමාත්‍යාංශය වෛද්‍යාධාර ගෙවීම සඳහා රුපියල් 580,000 ක් ජනාධිපති අරමුදල වෙත එවා ඇතත් එම මුදල 2010 මාර්තු මස දක්වා අදාළ රෝගීන්ට ගෙවා නැත.

වෛද්‍යාධාර ගෙවීමේදී රුපියල් 11,530,94 ක් ගෙවීමට අදාළව කුවිතාන්සි කිසිවක් ඉදිරිපත් කර නොමැති බවත් කිසිම ලිපිගොනුවක් නොමැතිව රුපියල් 2,081,500 ක මුදලක් ගෙවා ඇති බවත් එම විගණන වාර්තාවේ සඳහන් වේ.

උතුරු මැද පළාත් සභාවේ කලාප අධ්‍යාපන කාර්යාල 08 ට අයත් පාසල්වල සිසුන් 797 ට ශිෂ්‍යාධාර ලෙස 2007-2008 වසර සඳහා රුපියල් 9,564,000 ක් ප්‍රධාන ලේකම්වරයා වෙත යවා ඇතත් 2009 ජූනි මස දක්වා මෙම මුදල් සිසුන්ගේ ගිණුම්වලට බැර කළ බව සනාථ කර නොමැත.

වයඹ පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල 08 ට අයත් පාසල්වල සිසුන් 743 වෙනුවෙන් 2007 වසරේදී රුපියල් 6,687,000 ක් ජනාධිපති අරමුදල මගින් යවා ඇතත් 2009 ජූනි මස වන විටත් ඉන් රුපියල් 2,145,000 ක මුදලක් ගෙවා නොමැත.

විගණන හා කළමනාකරණ කමිටු ස්ථාපනය කර තිබුණද සමාලෝචන වසරවලදී ඒවා ක්‍රියාත්මක නොවී ඇති බවත්, විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතාවන් පිළිබඳව අරමුදලේ ලේකම්වරිය වරින් වර දැනුවත් කර ඇති බවත් විගණකාධිපතිවරයා තම වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම විගණන වාර්තාව විගණකාධිපතිවරයා විසින් පසුගිය මැයි මස පාර්ලිමේන්තු ගත කර ඇත

Tell a Friend