දුප්පතුන්ට එරෙහිව දුප්පතුන් යොදා ගැනීම

අමිල ගුණරත්න

උද්ගෝෂණ වර්ජන මැඩලීමේදී ලංකාවේ දේශපාලකයන් පොලිසියට අමතරව නිතරම යොදාගත්තේ නුගත් දුගී ලුම්පන් හෙවත් පාදඩ කොටස්ය. මෙය ජේ ආර් සමයේ දී සිරිල් මැතිව් හොදින්ම කළේය. එකල ඔහුව හැදින්වුයේ කැලණියේ ගෝරින්ග් ලෙසටයි. වර්තමානයේ මර්වින් සිල්වා මෙන් ඔහු නුගත් දුගී කොටස් වලට බත් පැකට් , අරක්කු දී උද්ගෝෂණකාරයන්ට පහර දුන්නේය. මෙවැනි පහරදීමක් නිසා වරක් සෝමපාල නමැති කම්කරුවා මරණයට පත් විය.

අජිත් පැරකුම් ජයසිංහ වාර්තා කරන පරිදි මීට දින කීපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට නියමිතව තිබියදී පොලු ගත් මැරවරයන් පිරිසක් ධර්මපාල මාවතේ නීති විරෝධී ජන රාශිගත වීමක යෙදුණ හ. ජයසිංහ තවදුරටත් මෙසේ කියයි.

"බස් රථ අටකින් පැමිණි 1000ක පමණ පිරිසකැයි ලංකාදීප පුවත්පත විසින් වාර්තා කරන ලද මෙම මැරවර පිරිස අත පහර දීමක් සඳහා යොදා ගන්නට ගෙන එන්නට ඇතැයි පැහැදිලිව සිතිය හැකි පොලු තිබෙනු ලංකාදීප ඡායාරූප ශිල්පීන් විසින් ඡායාරූප ගත කර තිබිණි. පොලුකාරයන්ගේ ආගමනය සිදු වූයේ ජවිපෙ විසින් සංවිධානය කරන ලද උද්ඝෝසණයක් ලිප්ටන් වටරවුමේ පවත්වන්නට නියමිතව තිබියදී ය. ධර්මපාල මාවතේ පොලු අතින් ගෙන තර්ජනාත්මකව හැසිරෙමින් සිටි මෙම පිරිස පසුව නගර ශාලාව දෙසට ගොස් අතුරුදහන් වූ හ. මෙම පිරිස ගෙන්වූ අයට ඉහළින් ලැබුණු නියෝගයක් මත හෝ බිය නිසා මෙම පිරිස විසිර ගිය බව පෙනේ. සිය රාජපාක්ෂිකත්වය පෙන්වීම සඳහා පාතාල දේශපාලනඥයන් දෙදෙනෙකු අතර මේ වන විට තරගයක් ඇති වී තිබේ. ඔවුන්ගේ ගොන් වැඩ නිසා ආණ්ඩුව මානව හිමිකම් පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තවත් අපකීර්තියට පත් වීම වළක්වා ගැනීම සඳහා බලවත් පරිශ්‍රමයක් දැරීමට ලොක්කන්ට සිදු වී තිබේ. අරක්කු සහ මුදල් දී රැගෙන එන මෙවැනි ලුම්පන් මැරවරයන්ට අවශ්‍ය ප්‍රමාණයට මොළේ නැති මුත්, කුඩු ගැසීම හා මන්දපෝසණය වැනි හේතු මත ඇ‍‍ඟේ ද ඇති හයියක් නැති නිසා ඔවුන් සිය ගණනින් ගෙන්වීමට සිදු වී තිබේ. සිය ගණනින් දහස් ගණනින් ගෙන ආවත් ප්‍රතිප්‍රහාරයක් ආවොත් මුන් වහා පැන දුවන නිසා මෙවැනි සංදර්ශනයකට වැඩි දෙයකට ඔවුන් යොදා ගැනීමට තරම් විශ්වාසයක් ඔවුන් සම්බන්ධයෙන් බලධාරීන්ට නැති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත්, මෙවැනි අයුතු ජන රාශිවලට සහභාගි වීම මේ වන විට, එක් ලුම්පන් පීඩිත පංති ජන කොට්ඨාසයක ජීවිකාව බවට ද පත් ව ඇත. "
(අජිත් පැරකුම් ජයසිංහ )

මෙයට අමතරව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී (ස්ත්‍රී දුෂක ) දුමින්ද සිල්වා මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් සහභාගී වූ උද්ඝෝෂණයක් ද පසුගිය සතියේ කොළොඹ දී පැවත්වන ලදී. රජයේ යෝජිත පුද්ගලික අංශයේ විශ්‍රාමික වැටුප නීතිගත කරන ලෙස හා එයට විරුද්ධ වන පාර්ශවයන්ට එරෙහිව මෙම උද්ඝෝෂණය පවත්වනු ලැබීය. මේ අවස්ථාවට කොලොන්නාව, තොටළඟ බන්ට් එක වත්ත, බොරැල්ල වනාතමුල්ල හා රාජගිරිය ඔබේසේකරපුර නියෝජනය කරමින් විශාල ලුම්පන් පිරිසක් සහභාගී වූ අතර උද්ඝෝෂකයන් වෙත එක අයෙක් සඳහා රුපියල් 500 ක මුදලක්ද පුද්ගලයන් තුන් දෙනෙක් සඳහා එක අරක්කු බෝතලයක්ද දුමින්ද සිල්වා විසින් ලබාදී තිබේ. මෙම සියලු ගෙවීම් සම්බන්ධීකරණය කොට ඇත්තේ දුමින්ද සිල්වාගේ මහජන සම්බන්ධිකාරක දිනේව නමැති පුද්ගලයෙකු විසිනි.


දුප්පතුන්ට එරෙහිව දුප්පතුන් යොදා ගැනීම අපුරු ක්‍රියාවලියකි. දේශපාලඥයා දුගීකම, විරැකියාව වගා කරයි. එයි පීඩනයට පත්වන සමහර නිර්ධනයන් නැගී සිටිති. ඔවුන් මර්දනය කිරීමට දේශපාලඥයා යොදාගන්නේ දරිද්‍රභාවයේ ගීලී සිටින තවත් දිලින්දෙකි. මේ අනුව බලන කල ලංකාවේ දුපත්කම නුගත්කම පැතිර යාම දේශපාලකයන්ට ආශිර්වාදයකි. නිර්ධනයන් වෙනුවෙන් සටන්කරනවා කියන ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ කල යුත්තේ නවකවධ මගින් නොමේරූ සරසවි ශිෂ්‍යන් බාගෙන ඔවුන්ගේ අනාගතය කාබාසිනියා කිරීම නොව දරිද්‍රභාවයේ ගීලී සිටින මෙවැනි පුද්ගලයන්ට පන්ති ලබා අවබෝධය දීමයි. ඔබලා මැයි දිනයට ඔසවාගෙන යන තට්ටය සහිත යට රැවුල ඇති පුද්ගලයා ( ජවිපෙ බිම් මට්ටමේ සාමාජිකයන්ගේ දැනගැනීම සඳහා සඳහා ඔහුගේ නම ලෙනින් බව සටහන් කරමු ) එම ක්‍රියාව කොට 1917 දී සාර්ථක ප්‍රත්පල ප්‍රතිපල ලැබුවේය.

Tell a Friend