මේ අය කරන්නේ රජතුමාගෙන් ලකුණු දමාගැනීමද රජතුමාගේ බෙල්ලට දමා තිබෙන තොණ්ඩුව තද කිරීමද ?

අමිල ගුණරත්න

ජනාධිපතිවරයාගෙන් ලකුණු දමාගැනීම සඳහා සමහර කොළඹ සහ පිට පළාත් වල මන්ත්‍රීවරු සාමකාමී උද්ගෝෂණ මැඩලීමට , රස්තියාදුකාරයන්ගෙන් ,කුඩුකාරයන්ගෙන් සමන්විත වූ පොලු හමුදා බිහි කොට තිබේ. එසේම අපේ වැයික්කියේ උද්ගෝෂණ බැහැ යැයි පාරම් බාති. මෙම මෝඩ දේශපාලකයන් සිතන්නේ උද්ගෝෂණයක් මැර බලයෙන් කඩාකප්පල් කර පමණින් මතුවන විරෝධය අවසන් කියාය. එයින් ජනතා අප්‍රසාදය පෙරත් වඩා වැඩි වෙන අතර උද්ගෝෂකයන් මැර හමුදා වලට මුහුණ දීම සඳහා විකල්ප වලට යොමු වෙති. මීට හොඳම උදාහරණය ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පැමිණ තිබුන ජවිපෙ රැස්වීම් වලට ප්‍රාදේශීය මැරයන් ලවා පහර දී පසුව ජවිපෙ තහනම් කොට ඔවුන්ව මිනි මැරීමට යොමු කරවීමයි. මෙවැනි මැර හමුදා ඇති කිරීම මගින් ආණ්ඩුව වඩ වඩාත් අප්‍රසාදයට ලක් වීමද , විපක්ෂය ප්‍රචණ්ඩ විකල්ප වලට යොමු කිරීමත් කරවනු ලබයි. අද ලෝකය වෙනස් වී ඇත. මැර හමුදා , පොලු හමුදා වලට අනාගතයක් නැත. පොලු හමුදා ඇති කිරීමෙන් රජතුමාගෙන් ලකුණු දමාගැනීමට සිතන මොලයක් නැති දේශපාලකයන් කරන්නේ රජතුමාගේ ඇඟේ අසුචි තැවරීමයි. යම් ලෙසකින් උද්ගෝෂණයකදී අරක්කු බාගෙට , බත් පැකට් එකට ඔලු පැලීමට ඉදිරිපත් වන දුරදිග සිතීමට නොහැකි රස්තියදුකරයෙකු අතින් උද්ගෝෂකයෙකු මරුමුවට පත් වුවහොත් රජතුමාට බඩුම තමාය. දැනට අන්තර්ජාතිකව රජතුමාට සහ ආරක්ෂක ලේකම්වරයාට තොණ්ඩු සකසා ඇති මොහොතක ලකුණු දමාගැනීමට යන කඩුව ගත් මේ මෝඩ වඳුරු මන්ත්‍රීවරු කොටන්නේ මැස්සාට නොව නිදාගෙන ඉන්න රජතුමාටයි. මනුෂ්‍ය ඝාතන කිරීමට ඉඩ සලසා දීම නිසා බලයෙන් විශ්‍රාම ගොස් සිටියද එරික් හොනේකර් , පිනාචේ යන දේශපාලකයන්ට බටහිර මහජන මතය නිසා ගැලවී යාමට ඉඩ ලැබුනේ නැත. ඔවුන් සුළු දිය පහ කරමින් බියෙන් තැති ගැනෙමින් තම අවසන් කාලය ගත කළහ. එරික් හොනේකර් , පිනාචේ, මිලොසවිච් වැන්නවුන්ටත් හිරගෙදර කූරු පෙන්නා මර බය ඇති කල බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ( ගුණදාස අමරසේකර කියන පරිදි ගර්හිත බටහිර ප්‍රජාතන්ත්‍රවාදය) තුන්වැනි ලෝකයේ රටක හම දුඹුරු මහින්ද ගැන දෙවරක් සිතන්නේ නැත. එය වර්තමාන ලෝකයේ සත්‍යයි. එය කාලයක් බටහිර ජීවත් වූ ගෝඨාභය හොදින්ම දනියි. එම නිසා දැන්වත් පොලු හමුදා විසුරුවා දමා යහ පාලනයකට අවතීර්ණවන්න. අඩුම ගන්නේ බලය නැති කාලයක දෙයියනේ කියා විවේක සුවයෙන්වත් විශ්‍රාම කාලය ගත කළහැකි අනාගතයක් තනාගන්න. මිට වඩා ධනය බලය තිබු ගඩාෆි අද සිටින්නේ බංකරයක සැඟවීය.

Tell a Friend