ගැලරියට විජ්ජා පෙන්වීම

අමිල ගුණරත්න

ලංකාවේ දේශපාලකයන් ගැලරියට විජ්ජා පෙන්වීමට ගොස් රට සහ ජනතාව අමාරුවේ දමන ආකාරය ගැන දිවයින පුවත්පතේ නිරෝෂන් හැඳලගේ ඉතා හොඳ ලිපියක් පල කොට තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව හා කොටි ත්‍රස්‌තවාදීන් අතර ඇති වූ යුද්ධයේ අවසන් අදියරේදී සිදුවුණා යෑයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වාර්තා කිරීමට එක්‌සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා පත් කළ උපදේශක කමිටුවේ යෝජනා හා නිර්දේශ මේ වන විට මාධ්‍ය ඔස්‌සේ ප්‍රසිද්ධියට පත්ව තිබේ. එම කමිටුව විසින් ශ්‍රී ලංකා රජයට හා එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ට ද විරුද්ධව චෝදනා එල්ල කර ඇති අතර තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය අතිශය ග්‍රාම්‍ය මට්‌ටමක පැවතීම හත්පලේ ගා ගැනීමක්‌ වේදෝයි සිතේ. යුද්ධය හොඳ හෝ නරක වේවා, එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ට එරෙහිව රාජපක්‍ෂ රජය සිදුකළ හමුදාමය මෙහෙයුම් හේතුවෙන් අතිශය බියකරු තත්ත්වයක පැවැති මෙරට තත්ත්වය අද කිසියම් සාමකාමී පසුබිමක පවතින බව කුහකත්වයෙන් තොරව සියලු පාර්ශ්වයන් විසින් පිළිගත යුතුය. අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් ඝාතනය කිරීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා පැවැසුවේ තම රටේ සහ ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කිරීමට තමන් කිසිවිට නොපැකිළෙන බවයි. ඔබාමා එසේ පැවැසුවේ අල්කයිඩා ත්‍රස්‌තවාදය හේතුවෙන් ඇමරිකාව අතිශය බිහිසුණු අත්දැකීම් ලැබූ නිසා බව අපි දනිමු. එසේනම් නිත්‍යානුකූල හමුදාවක්‌ යොදා තම රටේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ වූ ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ (ඇමරිකාවේ ත්‍රස්‌තවාදී ලයිස්‌තුවේ ඉහළින්ම සිටි) වූ එල්ටීටීඊය විනාශ කිරීමට ශ්‍රී ලංකා රජයට ද සදාචාරාත්මක අයිතියක්‌ ඇති බව පිළිගත යුතුය. ඒ අයිතිය එසේ වුවත් ගැටලුව වී ඇත්තේ මහා ලේකම්වරයාගේ උපදේශක කමිටු වාර්තාවට විරුද්ධව ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙළ සදාචාරාත්මක නොවීමය. සරලවම කිවහොත් මෙබඳු අර්බුදයකදී රාජ්‍යතාන්ත්‍රික මට්‌ටමින් ඉතාමත් කල්පනාකාරීව හා වෘත්තීයමය වශයෙන් තීන්දු තීරණ ගත යුතුව තිබියදී රජයේ ඇතැම් පාර්ශ්වයන් ගැලරිය පිනවීමට යැම එතරම් නුවණට හුරු නොවන බව අවධාරණය කළ යුතු වෙයි. එහෙත් සිදුවනුයේම එයමය. රටට එරෙහිව චෝදනාවක්‌ එල්ල වී තිබියදී මේ රටේ ජනතාවට පෙනෙන්න දේශප්‍රේමය සිල්ලරට විකුණනු අපි දිනපතා දකිමු. මෙය දේශප්‍රේමයෙන් ඔද්දල්වී විසඳිය යුතු ප්‍රශ්නයක්‌ නොව බුද්ධියෙන් විසදා ගත යුතු ප්‍රශ්නයක්‌ බව තේරුම්ගත යුතුය. මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කමිටුවක්‌ පත් කිරීමට යෝජනා කළ අවස්‌ථාවේ ඇමැති විමල් වීරවංශ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට නොකා නොබී මියෑදෙන්නට ගිය අයුරු අපි දුටිමු. ඒත් විමල් වීරවංශ මිය ගියේවත් මහ ලේකම්වරයා කමිටුව අකුලා ගත්තේවත් නැත. එයම පාඩමකට ගන්නට අපේ පාලකයන්ට ඔළුවක්‌ තිබිය යුතුය. මෑතකදී රූපවාහිනි ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්‌වූ ඇමැති පාඨලී චම්පික රණවක පැවැසුවේ ඇමරිකාව අපට සහාය පළ නොකළොත් ශ්‍රී ලංකාව දිගින් දිගටම ඇමරිකාවට එරෙහි ප්‍රතිපත්තියකින් කටයුතු කරනු ඇති බවය. ඇමැති චම්පික රණවකගේ අභියෝගය තැකීමක්‌ කරන්නට තරම් ඇමරිකාවට වුවමනාවක්‌ නැති වුවද රජයේ ඇමැතිවරයකු විසින් කරනු ලබන ප්‍රකාශ රජයේ නිල ප්‍රකාශයක්‌ ලෙස නොසලකා සිටිතැයි සිතිය නොහැක. මෙබඳු සිදුවීම් රටවල් අතර තානාපති සබඳතා කෙරෙහිද යම් බලපෑමක්‌ කළ හැකි නොවේද?

(හත්පලේ ගානොගන්නට!- නිරෝෂන් හැඳලගේ)

ලංකාව අද මුහුණ දී තිබෙන්නේ බරපතල ප්‍රශ්නයකටය. දෙමල ඩයස්පෝරාව එක්සත් ජාතීන් සහ බටහිර රටවල් අල්ලාගෙන මහින්ද රාජපක්ෂ චෙක් මේට් කිරීමට යති. මහින්ද රාජපක්ෂ චෙක් මේට් කිරීමෙන් පසු මෙය නවතින්නේ නැත . ඊට පසු සුඩානයේ මෙන් බලහත්කාර මැදිහත්වීමකින් රට දෙකඩ කිරීමට පවා පුළුවන. මෙය විසඳිය යුත්තේ ඔලුවෙන් මිස මෝඩ ජෝක් දමා ගැලරියට විජ්ජා පෙන්වීම මගින් නොවේ. ගැලරියට විජ්ජා පෙන්වනන් කරන්නේ වියාජ හිතවත්කමක් , ශරීර ඇම්මක් රජතුමාට පෙන්වා හිමින් සීරුවේ මහින්ද රාජපක්ෂගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ බෙල්ලට දමා ඇති තොණ්ඩුව තවත් තද කිරීමය. ඔවුන්ගේ අභිප්‍රාය මෙම අවස්ථාව උපයෝගී කරගෙන රාජපක්ෂ රජ පෙළපත බ්ලාස්ට් කිරීම විය හැක. මේ අවස්ථාවේ අවශ්‍ය දුර දක්නා නුවන ඇති රටට ආදරය කරන (ගල්කටස් දේශප්‍රේමින් නොවේ ) කෘතහස්ත දේශපාලකයන් රජ තාන්ත්‍රික නිලධාරීන් මිස ගැලරියට ගසන මනප්පුලා නොවේ. ප්‍රභාකරන් නැති වර්තමාන දෙමල ඩයස්පෝරාව යනු තනි තනිවම ගත විට දුබල සහ බියසුලු නමුත් සාමුහික වශයෙන් ගත විට බලවත් කොටසකි. උතුරේ යුද්ධයට මුදල් පොම්ප කිරීමෙන් ඔවුන් ද මෙම විනාශකාරී ගැටුමේ වගඋත්තරකරුවන්ය. ඔවුන් කලේ ඩයස්පෝරාවේ දරුවන් සුරක්ෂිතව බටහිර රටවල්වල් තබාගෙන උතුරේ දුප්පත් දෙමල ජනතාවගේ දරුවන් යුද්දයට යැවීමය. ආණ්ඩුව කල යුත්තේ දෙමල ඩයස්පෝරාව කල දෙබිඩි රංගනය උතුරේ ජනතාවට හෙළි කරන ගමන් බටහිර රටවල් සහ ඉන්දියාව දිනා ගැනීමය. පොර ටෝක් දීමෙන් හෝ උපවාස කිරීමෙන් බටහිර රටවල් දන ගැස්විය හැකියි සිතන දේශපාලන මනප්පුලා එක්කෝ මැට්ටන්ය නැතහොත් ඩබල් ගේම්කාරයන්ය.

Tell a Friend