රාජපක්ෂගේ අසූචි කෑම හෙවත් ලංකා ඉතිහාසය වණ කිරීම


ගිරුවායේ රාජපක‍ෂවරු බුදුන් වහන්සේගේ ලේඥාතීන් මහින්ද හා ගෝඨාභය දුටුගැමුනු රජුගේ මී මුණුපුරන් - "ප්‍රවීන" ( පුරා විද්‍යා චක්‍රවර්ති ) ඉතිහාසඥ ජැක්සන් ඇන්තනීගේ නවතම සොයා ගැනීමක්


ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ගිරුවා පත්තුවේ ජීවත්වන රාජපක‍ෂවරුන් දඹදිව ශාඛ්‍යවංශික සුද්ධෝදන මහා රාජ පරම්පරාවෙන් පැවත එන්නන් වන අතර වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා බුදුරජාණන් වහන්සේගේ ලේ නෑයෙකු මෙන්ම එම රාජ පරම්පරාවෙන්ම පැවත එන අතර මැද ඥාතිත්වය හිමි දුටු ගැමුණු මහරජතුමාගේද මී මුණුපුරකු වන බව ප්‍රවීණ ඉතිහාසඥ මෙන්ම ව්‍යාපාරික කලාකරු ජැක්සන් ඇන්තනී මහතා සිදු කළ දීර්ඝ පර්යේෂණයක ප්‍රතිඵල වශයෙන්  කොළඹදී ප්‍රකාශ කොට ඇත.

අරලිය ගහ මන්දිරය මෙන්ම මැදමුලන, කාල්ටන්, ඛෙලි අත්ත, සහ තංගල්ල පුරාවිද්‍යා පරිශ්‍ර කිහිපයක් මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම්/මොබිටෙල්, ලංකා බැංකුව, මහජන බැංකුව, වරාය අධිකාරිය ඇතුළු තවත් ආයතන කිහිපයක් ආශ්‍රයෙන් තම පර්යේෂණය සිදුකළ ජැක්සන් ඇන්තනී මහතා තම ඓතිහාසික සොයා ගැනීම පිළිබද විශේෂ කරුණු කිහිපයක් හෙළිදරව් කළේ ඊයේ (29) දින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ රණවිරු රියල් ස්ටාර් වැඩසටහන හා සජීවීව සම්බන්ධ වෙමින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය.

එසේම එහිදී ප්‍රකාශයට පත් නොවූ ආරංචි මාර්ග සඳහන් කළ ආකාරයට මෙම වැදගත් පුරා විද්‍යා පර්යේෂණයට පුරා විද්‍යා චක්‍රවර්තී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පැවදි මාර්ගෝපදේශකත්වය සපයා ඇති අතර හිටපු මහාචාර්ය රෝහණ පුත්‍ර මැන්දිස් රෝහණදීර මහතා ගිහි මාර්ගෝපදේශකත්වය සපයා දී ඇත. එසේම ජැක්සන් ඇන්තනී මහතාගේ පර්යේෂණ සහායකයින් වශයෙන් ජයන්ත චන්ද්‍රසිරි, සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, රෝහණ වීරසිංහ ඇතුළු නිදහස් කලා සන්ධානයේ ප්‍රවීණ පුරා විද්‍යාඥයින් වන ව්‍යාපාරික කලාකරුවන් පිරිස කටයුතු කර තිබේ.

එසේම ඊයේ දින රණවිරු රියල් ස්ටාර් සජීවි ප්‍රසංගය ආරම්භයේදීම ප්‍රකාශයට පත් වූ මෙම වැදගත් ඓතිහාසික පුරා විද්‍යා පර්යේෂණ ප්‍රතිඵලය අසා මේ වනවිට කැබනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ශ්‍රී ලංකාවාසී දේශප්‍රේමී ආණ්ඩු පාක‍ෂිකයින් සියලූ දෙනාම පාහේ තම තමන්ගේ සීතාම්බර සළු පටළවාගෙන ගම් නියම් ගම් පුරා ප්‍රීති ඝෝෂා කරමින් සිටින බව අපගේ කොළඹ වාර්තාකරු පවසා සිටී.


Tell a Friend