නිලන්ත ඉලංගමුව
අපේ ප්‍රශ්න අපටම විසඳා ගත හැකි යැයි මහින්ද රාජපක්ෂ යුධ ජයග්‍රහණයේ දෙවන වර්ෂ පුර්ණය නිමිත්තෙන් පැවති උළෙලේදී ප්‍රකාශ කළේය. මේ වන විට යළිත් දහස් ගණනක් සාමන්‍ය ජනතාව අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම නිසා අනාථ වී සිටින අතර සැමදාම මෙන් ආණ්ඩුවේ ආපධා කළමනාකරණය අංග විකල ස්වභාවයක් ගෙන ඇත. රටේ උද්ගත වී ඇති හදිසි තත්වයන් වලට රාජපක්ෂ මුහුණ දෙන ආකාරයෙන්ම තමන්ගේ ප්‍රශ්න තමන් විසඳා ගන්නා අකාරය ගැන අවබෝධ කර ගත හැකිය. මේ අතර රාජපක්ෂගේ මුදල් සේප්පු යහමින් තමන්ගේ සාක්කුවේ දමා ගැනීමට සමත් කාලාකරුවන් පිරිසගෙන් ඉතිහාසය පිලිබඳ විශේෂඥයෙකු වීමට යන්ත දරණ එක් අයෙක් රාජපක්ෂ බුදු රජාණන් වහන්සේගේ ලේ ඥාතියෙකු වෙන බව සඳහන් කොට ඇත. සමස්ත සමාජයේ රෝගී තත්වය පැහැදිලිය. රාජපක්ෂ වටේ සිටින ඉනිකුනන්ට අභියෝගය වී ඇත්තේ තමන් රාජපක්ෂට කොච්චර ප්‍රමාණයකට දෙන්නේද යන්න මිස වෙන කිසිවක් නොවේ. මේ නිසා එකී ඉනිකුනු කුලකය තුළම බරපතල ගැටලු ඇති වේ. එකී ගැටලු නිසා පැන නගින මුලික අභියෝගය වන්නේ ඔවුන්ට කෙතරම් දුරට රාජපක්ෂගේ දොළ පිදේනිය පිරවිය හැකිද යන්නය. එය මත පිහිටා ඔවුහු කටයුතු කරනවා හැරෙන්නට රටේ අවශ්‍යතාවය ගැන සලකා කිසිඳු මට්ටමක අදහසක් ඔවුන්ගෙන් ඒවී යැයි සිහිනයකින්දු සිතිය නොහැකිය.
රාජපක්ෂ දේහ වර්ණනාවට මෙන්ම නැති ගෞරව ලබා ගැනීමට සේම අනුන්ගේ වැඩ වලින් ලකුණු දමා ගැනීමට සමත් නායකයෙකි. දිවයින පුරා ඔහු විසින් මිලියන ගණනක් වියදම් කරමින් සවි කරනු ලබූ කටවුට් වලින් එය පැහැදිලිය. ඔහු, ඔහු විසින්ම අමුතුම අන්දමේ දේවත්වයක් ආරූඪ කර ගැනීමට යන්ත දරණ නායකයෙකි. ඔහු සර්ව බලධාරියෙකු ලෙස සිතමින් ලාබා ගන්නා මානසික ප්‍රමෝදයේ තරම සීමාවක් නොපෙනෙන තරමට විශාලය. සැබවින්ම ලංකාවේ නිතිය විසින් නායකයා පිස්සකු කොට ඇත්තේ එලෙසය. මෙය රාජපක්ෂගේම අවුලක් නොව. අවුල රාජපක්ෂගේ දැනුමේ ප්‍රාමාණය නිසා වුවද එය රාජපක්ෂගේ සමස්ත විකුර්තිභාවය සඳහා හේතු නොවේ. හේතුව ඇත්තේ නීතියෙන් ඉහලට පුද්ගලයෙකු දැමූ විට ඔහුට/ ඇයට තමන්ට රිසි දේ කිරීමට ඇති හැකියාව නිසා ඇති වන මානසික ව්‍යකූලභාවයයි. එය අතිශය සංකීර්ණ වන්නා සේම හඳුනා ගැනීමට නොහැකි තරමේ අවුලකි. තමන්ගේම පුතා වන නාමල් රාජපක්ෂට නීති විද්‍යාලයේ හොරට විභාගය කිරීමට අවසර දෙන්නේ හෝ එවැනි හොර වැඩක් කරන තෙක් ඉවසාගෙන සිටින්නේ එකී අවුලේ පරිමාණය නිසාය.රාජපක්ෂට සරලවවත් නොතේරෙන්නේ තමන්ගේ දරුවන් නීතියේ අධිපතය මත පිහිටුවා කටයුතු කිරීමට පුරුදු කිරීමෙන් ඇති වන යහපත් ප්‍රතිඵලයයි. ඔහු ඔහුගේම පුත්‍රයා රටේ පිළිගත් වංචාකාරයෙකු කරන්නෙත් ඔහුගේ අනුගාමිකයා ලෙස ලෝකයට හඳුන්වා දෙන්නෙත් එකී අවුල නිසාය. ඔවුහු දකින ලෝකයේ සීමාව ඇත්තේ මේ වන විට නේටෝ සංවිධානයේ බෝම්බ ප්‍රහාරයක ලක් වන ට්‍රිපොලි නුවර බංකරයක් ඇතුලේ සැඟ වී සිටින ගඩාෆි දක්වාය. නමුත් තවත් වසර කිහිපයකින් එන අභියෝගයන් ඊට හත් පසින්ම වෙනස්ය. නේටෝව අපට බෝම්බ නොහෙලන්නේ තෙල් නැති නිසා විය හැකි නමුත් තවත් වසර කිහිපයකින් ගෝලීය දේශපාලන අවශ්‍යතාවයන් වෙනස් වේ. එවිට දුටු ගැමුණුගේ කඩු සොයා ගත් පලියට ඉන් විසඳුම් සෙවිය නොහැකිය.
රාජපක්ෂගේ අවුලට විසඳුමක් නැති අතර එය නිවැරදිව හඳුනා ගැනීමෙන් රාජපක්ෂගේ සමීපතමයෙකු වී තමන්ට හැකි තරම් වස්තුව සොයා ගත හැකිය. කිසිඳු විලිලජ්ජාවක් නොමැතිව බුදුන් වහන්සේගේ ලේ ඥාතියෙකු ලෙස රාජපක්ෂ සමාජයට ගෙන ඒමට උත්සහ කරන්නෙත් ඔහු දුටු ගැමුණු රජතුමාගේ මී මුණුපුරන් බවට පත් කරන්නෙත් එකී වුවමනාවේ ප්‍රකාශනයන් ලෙසය. මොළේ අඟලක් ඇත්තනම් රාජපක්ෂ කළ යුතේ මේ අන්දමට තමන්ව ගොනාට අන්දවන, අඟේ ඉඳන් කන කණ ආත්මාර්ථකාමී උද්දචචයන් පන්නා දැමීමය. රාජපක්ෂට සැබවින්ම මානසික ව්‍යාධියක් නොමැත්තේ නම් වහාම කළ යුත්තේ සමස්ත සමාජය ඉදිරියේ තමන්ගේ ප්‍රතිරූපය බුදුන්ගේ ලේ ඥාතින් යැයි මෝඩ කාරණා කියමින් ඝාතනය කරන අයවලුන් වහාම නතර කොට රටේ අතවශ්‍ය ප්‍රශ්න වෙනුවෙන් සක්‍රිය දායකත්වය ලබා දීමට හැකි පිරිසක් සමඟ ගනු දෙනු කිරීමය. නමුත් මෙය රාජපක්ෂට හඳුනා ගත නොහැක්කේ නම් එය තවත් කාලකදී පුපුරා යන්නේ වෙනස් ආකාරයකිනි. එහි මුලික සංඥාවන් මේ වන විටත් ඉන්දියාවෙන් නිකුත් වී තිබේ.
කොටි සංවිධානය සමාජය ඉදිරියේ තනා තිබූ ප්‍රතිරූපය හමුවේ නන්දි කන්ඩාල් කලපුවට වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ කඳ විසි කිරීමට හැකි වේයැයි කිසිවෙකුත් සිතුවේ නැත. රාජපක්ෂ වර්තාමානයේ කරන ඔලමොට්ටල කටයුතු සියල්ලම සූරියන් දෙවන් යැයි නම් කරමින් සාමාන්‍ය මිනිසුන් ලවා බලහත්කාරයෙන් වැඳුම් පිදුම් ලබා ගනිමින් වේලුපිල්ලේ ප්‍රභාකරන්ද සිදු කළේය. එය තව දුරටත් අංග සම්පූරණ වූයේ තමන්ගේ කැබිනට් මණ්ඩයේ සිටින ආචාර්ය මර්වින් සිල්වා විසින් 25 දෙනෙකුගෙන් සමන්විත මාරාගෙන මැරෙන කණ්ඩායමක් ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟිනි. එය ඇත්ත හෝ බොරු හෝ වේවා මෙවැනි කතා කියන මට්ටමට තමන්ගේම අයවලුන්ම පත් වී සිටීම සහ තමන්ගේ ප්‍රතිරූපය ප්‍රකට ජෝකර් කාරයකු කිරීම ගැන වග කිව යුත්තේ රාජපක්ෂ මිස වෙන කිසිවෙකුත් නොවේ. කෙසේ වෙතත් ප්‍රභාකරන් විෂයෙහි දී සිදු වූයේ කේ. පි. ඔහු පියවරෙන් පියවර පාවාදෙන අතර ඔහුගේ රැකවරණය සඳහා සිටි සාමන්‍ය වැසියන්ද අහිමි විය. රාජපක්ෂ සහ ප්‍රභාකරන් ක්‍රමෝපායික වශයෙන් සමාන කළ නොහැකි බව සැබෑය. නමුත් දෙදෙනා අතර බොහෝ සමාන කම එනම් ප්‍රභාකරන් කළ තකතීරු කම් සියල්ලගේම නිල් පිටපතක් ලෙස රාජපක්ෂ හඳුනා ගත හැකිය. වෙනස ඇත්තේ එකී තකතීරු කම් කිරීමට රාජ්‍ය බල ලැබී තිබීමයි. එය අභියෝග කිරීම සඳහා විපක්ෂයක් හෝ සිවිල් සමාජයක් නිතිබීමයි. කෙසේ වෙතත් කොටි සංවිධානයේ දුර්වල වීම 2005 රාජපක්ෂගේ සමප්‍රප්තියත් සමඟ සිදු වූයේ නැත. එය කාලාන්තරයක් තිස්සේ සිදු වූ දීර්ඝ කාලීන වැඩපිළිවෙලකි. අවුල හටගත්තේ එම සංවිධානය තුළින්ම මිස සිංහල ආණ්ඩුව විසින් කළ තීරණාත්මක මගපෙන්වීමක් නිසා නොවේ. නමුත් තමන්ගේ දේශපාලන වාසිය සඳහා සිංහල ආණ්ඩු කොටි හිතවාදය මෙන්ම විරෝධයද භාවිතා කළේය. රාජපක්ෂ කොටින්ට එරෙහිව සටන් නොකළේ නම් රාජපක්ෂ දේශපාලනඥයෙකු ලෙස සක්‍රීය වන්නේ නැත. එය කිරීම සඳහා රාජපක්ෂට රටේ සම්පූර්ණ දායකත්වයක් තිබුණි. නමුත් එකී ජයග්‍රහණයේ එකම උරුමකාරයා වීමට අනුන්ට හිමි ගෞරවය කෙලසමින් තමා ප්‍රමුඛයා වීමට යෑමෙන් රාජපක්ෂ වර්තාමාන්යෙදී මුණ දී සිටින අභියෝගය ඉතා පැහැදිලිය. මෙම තත්වය හමුවේ තවදුරටත් ලංකාවේ තත්වය ඉතා සංකීරණ වනවා මිස පවතින ප්‍රධාන ගැටලු වලට විසඳුම් සෙවීම මායාවක් බවට පත් වේ. එසේම ඒ වෙනුවට රාජපක්ෂගෙන් බුදු රැස් විහිදීවීමට ඇතැමුන් කටයුතු කළහොත් ඒ ගැනද පුදුම විය යුතු නැත. ලංකාවේ වත්මන් තත්වය ඛේදනීය විහිළුවක් වී ඇත්තේ එලෙසය.

Post a Comment