වයඹ ආණ්‌ඩුකාර නිල නිවස අලුත්වැඩියාවට ලක්‍ෂ 74 ක්‌

බණ්‌ඩාරකොස්‌වත්ත - වික්‍රමරත්න ගමගේ

වයඹ ආණ්‌ඩුකාරවරයාගේ නිල නිවාසය අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් හැත්තෑ හතරලක්‍ෂ හත්දහසක (රු. 7407000) මුදලක්‌ වැයකිරීම සමබන්ධයෙන් වයඹ පළාත් සභාවේ විපක්‍ෂ නායක (එ.ජා.ප.) ප්‍රසන්න ෂමල් සෙනරත් මහතා වයඹ පළාත් සභා රැස්‌වීමේදී විමතිය පළ කළේය.

වයඹ පළාත් සභා රැස්‌වීම පසුගිය 5 වැනිදා වයඹ පළාත් සභා සංකීර්ණ ශාලාවේදී පැවැත්විණි.

වයඹ ආණ්‌ඩුකාර වරයාගේ නිලනිවාසය අලුත්වැඩියා කිරීම සඳහාවූ අතිරේක මුදල් ප්‍රතිපූර්ණය කරගැනීම සඳහා ඉදිරිපත් කරන ලද පරිපූරක විසර්ජන ප්‍රඥප්තිය විවාදයට ගත් අවස්‌ථාවේදී තවදුරටත් ඒ පිළිබඳ අදහස්‌ දක්‌වූ ෂමල් සෙනරත් මහතා රුපියල් හැත්තෑ හතර ලක්‍ෂයක්‌ වූ විශාල මුදලක්‌ වැයකරමින් සිදුකෙරෙන අලුත් වැඩියාව කුමක්‌ දැයි, වයඹ ප්‍රධාන අමාත්‍ය අතුළ විඡේසිංහ මහතාගෙන් විමසා සිටියේය.

වයඹ පළාතේ ජීවත්වන හයලක්‍ෂයක්‌ පමණ ජනතාවගේ දිනක ආදායම රුපියල් දෙසීයට වඩා අඩු බවත් සංවර්ධනය කළයුතු වැව් අමුණු විශාල සංඛ්‍යාවක්‌ ඇති බවත්, එසේ තිබියදී මේතරම් විශාල මුදලක්‌ වැය කරමින් නිල නිවාසයේ අලුත්වැඩියා කරන්නේ කුමක්‌ නිසාද යන්න පිළිබඳ හෙළිකළ යුතු බවත් ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විපක්‍ෂ නායකවරයා පළාත් සභාවේ වියදම් කපාහරිමින් සංවර්ධනය වෙනුවෙන් කැපවීමට ජනතාවට ඉල්ලීම් කරන ආණ්‌ඩුව යටතේ පාලනය වන වයඹ පළාත් සභාව මෙවැනි මුදල් වැය කිරීම අදහාගත නොහැකි බවද සඳහන් කළේය.

මෙයට පිළිතුරු දුන් වයඹ ප්‍රධාන අමාත්‍ය අතුළ විඡේසිංහ මහතා ප්‍රකාශ කළේ - ජනාධිපතිවරයා වයඹ ආණ්‌ඩුකාරවරයාගේ නිල නිවාසය අලුත්වැඩියා කිරීමට විශාල මුදලක්‌ වැයකිරීම පිළිබඳ අප විරුද්ධ නොවිය යුතු බවයි.



Tell a Friend