ඉරුරැසේ පත්තර කලාව : ද්වේශ සහගත සහ මුළුමනින්ම අසත්‍ය ලිපියක් පල කිරීම සම්බන්ධයෙනි

පසුගියදා ඉරුරැස නමැති සති අන්ත පුවත්පත ලංකා ගාර්ඩියන් කතුවරයා ඉලක්ක කර ගනිමින් සම්පුර්ණ අසත්‍ය ලිපියක් පල කල අතර ඉන් පසු ඊට ප්‍රතිචාර දැක වූ විට එය පල නොකිරීමටද අදාල පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කරන මොහාන් ලාල් පියදාස නමැති අය කටයුතු කළේය. එය ඔහුගේ සැබෑ ගති ගුණ පෙන්වීමක් වන අතර ලංකාවේ සිංහල පුවත් කලාව වැටී ඇති තත්වය තේරුම් ගැනීම එය ප්‍රමාණවත්ය. අපි විසින් පසුගිය සති කිහිපය පුරා අදාළ පුවත් පත් අසම්බන්ධයෙන් පුවත් පල කල අතර ඒ ගැන අපි සම්පුර්ණ වගකීම භාර ගන්නෙමු. කෙසේ වෙතත් අදාළ පුවත් පත විසින් තමන්ගේ ලැජ්ජාව වසා ගැනීම සඳහා පල නොකළ ලිපිය පහත පල කරන්නෙමු.

නිලන්ත ඉලංගමුව

පසුගිය සතියේ ඉරිදා එනම් 2011 මාර්තු මස 27 වන දාතමින් ඔබ පුවත් පතේ මාගේ සේයාරුවක්ද සමඟ, "බොරු ගොතන ගාර්ඩියන් බොරු කාරයා ”, යන හිසින් යුතුව සම්පුර්ණයෙන්ම අපහස කිරීමේ සහ
ද්වේශසහගත වුවමනාවෙන් පල කරනු ලබූ අවලාද සහගත ලිපිය පලකිරීම මඟින් මුලික වශයෙන් ඔබ විසින් ශ්‍රී ලංකාවේ අපහස නීතිය උල්ලංඝනය කරන්නා වූ වරදක් සිදු කොට ඇත. අදාළ නීති විරෝධී කටයුත්ත
අතිශය ප්‍රබල හානිකර කටයුත්තක් වන අතර එය ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරමින් සහ ඊට සමාව ඔබ විසින් ගත යුතු බව මින් අපේක්ෂා කරමි. එසේම එයට ඌනපුරක වශයෙන් මා විසින්
මෙලෙස ලියා ඇති පිළිතුරු ලිපිය, ඔබගේ ලිපියට ලබා දුන් ඉඩ එලෙසෙම වෙන් කරමින් මුල් පිටුවේ සහ දෙවැනි පිටුවේ පලකරන ලෙස ඉල්ලා සිටිමි.

ඔබ විසින් අදාළ ලිපියේ සඳහන් කොට ඇති සෑම කරුණක්ම ප්‍රබන්ධයක් වන අතර එය දේවේශ සහගත වුවමනාවෙන් හිතා මතා ලියා ප්‍රසිද්ධ කරනු ලැබූ ලේඛණයකි. එම ලේඛණය මඟින් මාහට මිල කළ නොහැකි
හානියක් සිදු කොට ඇත. එම හානිය කොට ඇත්තේ මුළුමනින්ම පුවත් පත් සදාචාරයට අඩංගු සියලුම නීතිමය සහ සදාචාරාත්මක කාරණා උල්ලංඝනය කරමිනි. ඔබේ ලිපිය මඟින් මගේ කීර්තියට මෙන්ම
මානසිකවද විශාල හානියක් සිදු කොට ඇත. එම ලිපියට අදාලව පහත සඳහන් කරුණු පල කරන ලෙස ඔඛෙන් මින් ඉල්ලා සිටිනු ලැබේ.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව හෝ එහි ඇති සැබෑ දුස්ශීල, ව්‍යාජ බොරුව ගැන ලිවීම වූ කලී අතිශය සංකීර්ණ සීමා මායිමක් පේන තෙක් මානයකවත් නොමැති කටයුත්තකි. එය ඒ තරමටම අපිරිසිදු වී ඇතිවා පමණක්
නොව කුණු වී ඇත. ඉන් හමන දුර්ගන්දය මාධ්‍ය නිදහස යැයි හෝ ලංකාවේ මාධ්‍ය කලාව යැයි අපි හඳුනා ගැනීමට පුරුදු වී සිටින්නෙමු. අපට පරමාදර්ශයක් වන මාධ්‍යක් හෝ එවැනි භාවිතාවක් කරන කිසිවෙකු
වෙනුව කාලෙන් කාලෙට හැව අරින සර්පයන් සේ පුදගලික වාසිය සඳහා අනුන්ද, තමන්ද එක සේ පාවාදෙන පිරිසක් සිදු කරන කටයුත්ත ශ්‍රී ලංකික මාධ්‍ය යැයි අපි හඳුනා ගන්නෙමු. ශ්‍රී ලංකික අනන්‍යතාවය ගැන කතා
කරන කිසිවෙකු හඳුනා නොගන්නා අපේ සැබෑ අනන්‍යතාවය වන්නේ එයයි. පසුගිය ඉරිදා ඔබගේ ( ලීඩර් ) ආයතනය විසින් පලකරුනු ලබන සිංහල පුවත්පත මා සම්බන්ධයෙන් පල කරනු ලැබූ උක්ත සඳහන් ද්වේශ
සහගත ලියවිල්ලද ඊට කදිම උදාහරණයක් මිස වෙන කිසිඳු සුජාත බවක් ඊට ලබා දිය නොහැකිය. ඉන් මාධ්‍ය කලාවේ ජේයෂ්ඨයින් යැයි කියා ගන්නා පිරිස වේලි සිටින මානසික අසහනය අදාළ ලියවෙල්ලෙන් වඩාත්
නිරවුල්ව හඳුනා ගත හැකිය. මෙරට මාධ්‍ය කලාවේ ඇති වුර්තිමය, සමාජීමය, දේශපාලනමය මෙන්ම මානසික බිඳ වැටීම වඩාත් හොඳින් අදාළ ලිපිය ම න් පෙන්නා දී ඇත.

ඔබ විසින් වංචනික ක්‍රියා වලට චෝදනාවලට ලක් වී සිටින පුද්ගලයෙකු ලෙස මා හඳුන්වා දී ඇති අතර එය මුළුමනින්ම අසත්‍ය චෝදනාවකි. කිසියම් හෝ වංචාවක් ගැන කිසියම් නඩු තීන්දුවක් මට එරෙහිව නැත. වංචා
පිළිබඳව චෝදනා කිරීම වනාහි ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ ඇති අපරාධයක් පිළිබඳ චෝදනා කිරීමකි. ඔබ විසින් මෙම චෝදනා කිරීම කොට ඇත්තේ කිසිඳු පදනමිකින් තොරවය. මෙවැනි දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන අපාරාධයක් සම්න්ධයෙන් කළා යැයි කියන මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශය කිසියම්ම හෝ මුලාශයක් පදනම් කරගෙන කළ ප්‍රකාශයක් නොවේ. ඒ නිසා මෙය අතිශය බරපතලම වූ අපහාසයක් බව දන්වා සිටිමි.
ඔබගේ ලිපියෙහි මා විසින් මෙම රටේ මාධ්‍ය ආයතන වල බුද්ධිමය දේපල සොරා ගෙන ඇති බවට සැකයෙන් තොරව ඔප්පු වී ඇති බව ප්‍රකාශ කොට සිටියි. මෙය මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් වන අතර එයද හිතා
මතාම අපහස කිරීම සඳහා කරනු ලැබූ ප්‍රකාශයකි. මා මෙම රටින් පිට වූයේ මෙම වංචනික ක්‍රියා හෙළිදරව් වීමෙන් පසු බව සඳහන් කොට ඇත. මෙයද මුළු මනින්ම අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් වන අතර
සත්‍ය තොරතුරු මීට හාත්පසින්ම වෙනස් බව ඔබ හොඳින් දන්නා බව සිතමි. මා ලංකාවෙන් පිටව ගියේ එකල මාධ්‍යට විරුද්ධව ගෙන ගිය මර්ධනයේ එක පියවරක් ලෙස දීර්ඝ ප්‍රකාශයක් මගෙන්ද රහස් පොලිසිය ලබා ගත් අවස්ථාවෙන් පසු ඇති වූ අනාරක්ෂිත තත්වය හේතුවෙනි. අදාළ කාරණය මා විසින්ම ප්‍රකාශ කොට ඇති අතර වෙනත් මාධ්‍ය ආයතනද මේ ගැන සඳහන් කොට ඇත. ඔබ මා ගැන තොරතුරු අවශ්‍ය යැයි සඳහන් කොට ඇත. රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම් වලදී මා විසින් පැය හයක් තිස්සේ ලබා දුන් ප්‍රකාශයේ සියලුම තොරතුරු ඇතුලත් බව මා අවදාරණයෙන් යුක්තව සඳහන් කරමි. නමුත් ඔබ මෙහිදී ගොතන ලද බොරුව පදනම් විරහිත වන්නා සේම මා විසින් කිසියම් හෝ බුද්ධිමය දේපලක් සොරා ගෙන ඇත යනුවෙන් ඔබ කර ඇති ප්‍රකාශය දැනුවත්ව කර ඇති බොරුවකි.

එසේම , මා දිවයිනේ කතෘ මණ්ඩලයට පත් වූයේ මගේ සැබෑ චරිතය වසන් කිරීමෙන් යැයි ඔබ ප්‍රකශ කරයි. සෑම ආයතනයකට පුවත් පත් කලාවේදියෙකු හෝ වෙනත් අයකු පත් කර ගන්නේ ඔහු/ඇය විසින් ඉදිරිපත්
කරන ඉල්ලුම් පත්‍රයකට අනුවය. මා විසින් ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රයට අනුව මා විසින් හෙළි කර නැත්තේ එනම් ස ඟවා තබා ඇත්තේ කුමක්දැයි ඔබ සඳහන් කොට නැත. මා විසින් සිදු කර ඇති බොරුව කුමක්ද,
කරන ලද ව්‍යාජ ප්‍රකාශ හෝ සැබෑ චරිතය සඟවමින් මා විසින් සිදු කළ කටයුතු ගැන ඔබ හෙළිදරව් කිරීමට අපොහොසත්ය. නමුත් මා දිවයිනට සම්බන්ධ වූයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයතු කරීමට මිස එහිදී මම
ව්‍යාජයන් මවා පෙන්නේඋවේ යැයි ප්‍රකශ කිරීම අපහාසයකි. මෙවැනිම වූ ප්‍රබන්ධ කතාවක් ලියා පල කළ ලංකා සි නිව්ස් නමැති වෙබ් අඩවිය පසුගිය මාර්තු 27 වැනිදා මගෙන් සමාව ඉල්ලා ඔවුන්ගේ වැරදි
සහගත වාර්තාකරණය ගැන කණගාටුව ප්‍රකශ කොට ඇත. ඒ නිසා ඔබ විසින්ද සිදු කොට ඇත්තේ අදාල වෙබ් අඩවිය විසින් සිදු කළාටත් වඩා බරපතල වරදක් වන අතර මෙහිදී යළි අවදාරණය කළ යුත්තේ වහාම
ඔබ අදාළ ද්වේශ සහගත ලියවිල්ල ප්‍රසිද්ධ කිරීම ගැන සඳහා සමවා ගත යුතු බවයි.

දිවයින පුවත්පතට ලැබුණු චායාරූප හොරෙන් විකි ම ගැන කිසිඳු සාක්ෂියක් ඉදිරිපත නොකර කියා සිටියි. මෙයද ඔබ විසින් ගොතන ලද ප්‍රබන්ධ කතාවකි. මම දිවයිනේ පුවත් පතේ විදේශ පුවත් පිටුව ඇතැම් අවස්ථා
වලදී සංස්කරණය කළ අතර මා හැකි උපරිමයෙන් අදාළ පුවත් පත සඳහා මා විසින් ලිපි ඉදිරිපත් කොට ඇත. දිවයින පුවත්පතට මා සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් එය මතු කළ යුත්තේ අදාළ පුවත් පත
විසිනි. ඒ පිළිබඳව ඔබට අයිතියක් නැත. කිසිවක් ගැන හරි හැටි නොදන්නා ඔබ තමන්ගේ අණුවනකම ඔප්පු කරමින් සිදු කොට ඇති ද්වේශ සහගත ලියවිල්ල තමන්ගේ වෛරය පිළිබඳව ඔබ විසින්ම ප්‍රායෝගිකව
පෙන්වීමක් පමණි. නමුත් මින් නීතිමය වශයෙන් ඔබ සිදු කර ඇති අපහාසය ඉතා බරපතල හානි දායක එකකි. ඉන් පසු මා රිවිර සහ නේෂන් යන පුවත් පත් වලට සම්බන්ධ වූ බවත් එම පුවත් පත වලට බොරු මවා
පෑමක් කළ බවත් කියා සිටියි. මෙය මුළු මනින්ම අසත්‍ය වන අතර මම කිසි දිනක අදාළ පුවත්පත් වල සේවය කොට නැත. ඉන් පසු ඔබ මා හට සුපිරිසිදු ඉංග්‍රීසි බාෂාවෙන් ලිපියක් ලිවීමට යයි ලබා දුන් අභියෝගය භාර
නොගෙන පලා ගිය බව සඳහන් කරයි. අදාල ආයතනයේ කිසිඳු දිනක කටයුතු නොකළ මා අදාළ කාරණය ගැන කිසිවක් දන්නේ නැත.

තව දුරටත් මෙම ලිපියෙහි මා ලංකාවේ සමහර මාධ්‍යවේදීන් පිටරට යැවීමේ ජාවාරමක යෙදුණු බවක් ගැන කියයි. ජාවාරමක් යනු මුදල් අයතා ලෙස පරිහරණය කරනු ලබන ව්‍යාපාරයකි. මම කිසිවෙකු හෝ ලංකාවෙන්
පිට රට රැකියාවක් ලබා දීම පිළිබඳව කිසියම්ම හෝ දිනක සතයක තරමවත් මුදලක් කිසිවෙකුගෙන් ලබාගෙන නැතුවා පමණක් නොව කිසිවෙකුට එවැනි පොරොන්දුවක් හෝ මුදල් පොරොන්දුවක් දී නැත. කිසිවෙකු හෝ පිටරට යැවීමට හෝ එවැනි කිසිම මට්ටමේ ව්‍යාපාරයක් කිරීමේ අරමුණක් මා තුළ පැවතී නැත. මාගේ එකම අරමුණ මාධ්‍යවේදියෙකු වීම පමණක් වූ වන අතර එම ක්‍රියාව මා විසින් සිදු කොට ඇත. මගේ වුර්තිය ගැන මා සතුටු වන අතර වෙනත් කිසිම මට්ටමේ ව්‍යාපාරයක් කිරීමේ කිසිඳු වුවමනාවක් මට නැත. ඔබ සඳහන් කරන අකාරයේ ජාවාරම් වූ කලී මා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන කටයුතුය. එසේම මානසිකව හෝ භෞතිකව මා විසින් කිසිඳු වංචාවක් සිදු කොට නැත. ඒ නිසා ඔබ විසින් මෙහිදීද අඥාන, අශ්ශීල, දුෂ්ඨ, ද්වේශ සහගත අසත්‍ය චෝදනාවක් සිදු කරමින් පුද්ගලිකව මාගේ ජීවිතයද, මාගේ පවුලේ සාමාජිකයින්ගේ මෙන්ම මාගේ හිතවත් අයගේද ජීවිත අනතුරේ හෙලා දමා ඇත. මේ නිසා කිසියම් මානසික හෝ භෞතික හානියක් කිසිවෙකුට සිදු වුව හොත් එහි සම්පූර්ණ වගකීම ඔබ භාර ගත යුත්තේය.

මාධ්‍යවේදියෙකු ලෙස කූඨ ව්‍යාපාර හෙළි කිරීම මාගේ අරමුණ වන නමුත් එකේක වංචා සඳහා හවුල් වීම මගේ අරමුණු නොවේ. ඒ නිසා මෙහිදී මගේ ජීවිතයද, මාහට සම්බන්ධ අයගේ ජීවිතද අනතුරේ හෙලමින් ඔබ සිදු
කොට ඇත්තේ බරපතල අසත්‍ය ද්වේශසහගත ප්‍රකාශනයකි. එසේම ඔබ විසින් සිදු කොට ඇති චෝදනාව ඉතාමත්ම බරපතල එකක් වන අතර එවැනි චෙදනාවක් සිදු කිරීම අපහාසයකි. එය මුළු මනින්ම චරිත ඝාතනය කිරීම සඳහා හිතා මතාම සිදු කොට තිබේ. ද්වේශ සහගත ලියවිල්ලක් වනාහි කිසියම් හෝ සිද්ධිමය පදනමකින් තොරව හුදෙක්ම යමෙකුට අපහාස කිරීම සඳහා කරනු ලබන සහාසික ක්‍රියාවකි. එනම් නීතිමය වශයෙන් ඔබ සිදු කොට ඇත්තේ එවැනි සහාසික සහ ද්වේෂාත්මක ලියවිල්ලකි. තමන් සිදු කරන කටයුත්තේ බර පතල කම ගැන කිසිම තේරුමක් නැතුවා හෝ වෙනත් අයෙකුගේ පුද්ගලික වුවමනාවක් ඉටු කර ගැනීම සඳහා ලියා ඇති එම ලිපිය ම න් බලවත් අසාධාරණයක් පාඨකයාටද සිදු කොට ඇත. එනම් මෙම ලිපිය ලියා ඇත්තේ නිසි ලෙස තක්සේරු කොට පරිණතභාවයකින් යුතුව පාඨකයාට ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායට අනුව නොවේ. කතුවරෙක් හෝ ලේඛයෙක් ලෙස කිසිවන් කිසිවෙකු ගැන ලිවීමේදී ඒ ගැන පළමුවෙන්ම වීමසිය යුත්තේ අදාළ පුදගලයගෙන් මිස වෙන කිසිවෙකුගෙන් නොවේ. ඔබ මා ගැන ලිවීමේදී කිසිවක් මාගෙන් නොවිමසා හුදු ප්‍රබන්ධ කතාවක් ජනතාව මුලා කොට මාගේ ජීවිතය අනතුරේ හෙලීම සඳහා සිදු කොට ඇත.

එසේම මෙවැනි ලේඛන ලවීම සිදු කරණ ලේඛකයා පමණක් නොව අදාළ ලේඛකයාගේ ලිපි පරික්ෂාවට බඳුන් කරණ කතුවරුන් සේම ප්‍රධාන කතුවරයා මෙහිදී සම්පුර්ණයෙන්ම වගකිව යුතුවේ. මෙවැනි පහත මට්ටමේ
කතුවරුන් තමන්ගේ ආයතන වල තබා ගැනීමද අදාළ ආයතන ප්‍රධානින් විසින් තමන්ටම සිදු කරගන්නා ප්‍රභල සහ බලවත්ම හානියකි. එය ආයතනයට පමණක් නොව මුළු මහත් සමාජයටම පිළිකුලක් දනවන අකාරයේ
වැඩ පිළිවෙලකි. අදාල ලේඛනය වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනාද ඍජුව හෝ වක්‍රව සිදු කොට ඇත්තේ අදාළ සමාජීය පිළිකාව ව්‍යාප්ත කිරීම සඳහා අනුබලය දීමකි. කෙසේ වෙතත් මෙවැනි අතිශය භයානක ලිපි පල
කිරීම ගැන ඔබ සියල්ලම වග කිව යුතු වේ. කිසියම්ම හෝ විනයක් නැති මෙන්ම පටු වුවමනාවන් මත ලේඛන කලාව අයුතු ලෙස මෙහෙය වන අය මුළු ආයතනයකම ප්‍රතිරූපය විනාශ කර දැමීම මෙහි ඍජු සිදු වීම වේ.
එසේම ඔබේ පුවත් පත පිළිබඳව විස්වාශයක් ඇති පාඨක පිරිස මං මුලා කොට ඔවුන්ට බලවත් අසාධාරණයක් සිදු කොට ඇත.

මාධ්‍ය කලාවේ පිළිගත් සදාචාරයෙන් ඔබ්බට ගොස් ඔබ විසින් සිදු කොට ඇති මෙම අපහාසයට අදාළ කරණය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා මාගේ නීතිඥයන් මේ වන විටත් කටයුතු කරමින් සිටින
බව මෙයින් දැනුම් දෙමි. මෙම ප්‍රතිචාරය සම්පුරණයෙන් පල කිරීම සහ ඔබ විසින් පල කරනු ලබූ අමුලික අසත්‍ය ප්‍රකාශයට කණගාටුව ඔබේ පුවත් පතේ පල කිරීම මම අපේක්ෂා කරමි.

නිලන්ත ඉලංගමුව
ප්‍රධාන කතෘ
ශ්‍රී ලංකා ගාර්ඩියන්


Tell a Friend