(ලියනගේ අමරකීර්ති විසින් ලියන ලද මෙම ලිපිය කාලීන අවශ්‍යතාවය සලකා ශ්‍රී ලංකා ගාර්ඩියන් පාඨකයන්ගේ දැනගැනීමට යලි පළකරමු )
අමිල ගුණරත්න
මධ්‍යම පන්තික ජාතිවාදියා ‘ජාතිවාදය’ ලෝකය විස්තර කරන දේශපාලන දෘෂ්ටිය ලෙස තෝරා ගන්නේ තම කුහක ජීවිතය ආරක්ෂා කර ගත හැකි හොඳම වාදය එය නිසාය. මේ නිසා ධනේෂ්වර පරිභෝජනවාදයේ කරවටක් ගිලී සිටින මධ්‍යම පන්තික ජාතිවාදියා ජාතිය, දේශය, බුද්ධාගම ගැන ජනප්‍රියම සටන් පාඨ පුනරුච්ඡාරණය කරයි. මේ නිසා අති විශාල කාර් හා අති විශාල ගෙවල් ලුහුබඳින ජාතිකවාදියාට දේශපාලනයේ දී හා සංස්කෘතික කතිකාවලදී ජාතික වන්නට පුළුවන. ගෙවල් දෙක තුන ඇති ගෙවල් කුලී බිස්නස් කරන, තම දරුවන් බටහිර රටවල පදිංචි කරවා බටහිර රටවල පුරවැසිකම් ලබා ගත් ඇතැම් ජාතිකවාදියෝ අල්පේච්ඡතාව ද, සිංහල බෞද්ධ නිරාමිස බවද පදනම් වූ ජාතිකවාදී දේශපාලනයක් අවශ්‍යයැයි දෙසති. අත් හැරීම හරය කර ගත් බුදු දහම පදනම් වූ බෞද්ධ අර්ථ ක්‍රමයක් මත ලංකාවේ අනාගතය සකස්විය යුතු යැයි කියන මධ්‍යම පන්තික ජාතිකවාදියෝ යන්තමින් බිස්නස් කරති. එහෙත් ඔවුන් දෛනිකව කරන්නේ බටහිර විවේචනයයි. ජාතිකත්වය නමින් තමන්ගේ දේශය තුළ සිදුවන දහසකුත් එකක් හිංසනයන් ගැන කිසිම විවේචනයක් නැති ජාතිකවාදියා සියලු නපුරෙහි උපන්බිම ලෙස විස්තර කරන්නේ බටහිරයි.
එවන් ඇතැම් ජාතිකවාදීන් පෞද්ගලික රෝහල්වල සභාපතිකම් දරන අතර එම රෝහල් මගින් දුප්පතුන්ට නොමිලේ ප්‍රතිකාර කරමින් බුදුන් ඉගැන්වූ අත් හැරීම භාවිතාවට නගන බවක් අප අසා නැත.
මෑතක දී ගුණදාස අමරසේකර පළමු වරට මුණ ගැසීමට මට අවස්ථාව ලැබිණ. එක්තරා පොත් දොරට වැඩීමක දී ඔහු මූලාසනයේ සිටි අතර මම ද දේශනයක් කළෙමි. ඔහුගේ මූලාසන කතාවේ දී ඔහු සිය සුපුරුදු බටහිර ගර්හිත දෘෂ්ටිවාදය ඉදිරිපත් කළේය. පසුගිය සියවස් දෙක තුන තුළ කිසිම වැදගත් නවකතාකාරයෙකු බටහිර නොසිටි බව ද කීවේය. එසේ කියන්නට අමරසේකර නවකතා මිලියනයක්වත් කියවා අධ්‍යයනය කර තිබිය යුතු වුවද ඕනෑම මෝඩ කතාවක් ඕනෑම සභාවක කීමේ හැකියාව ඔහුට ඇත. එසේම ඒවාට අත්පුඩි ගසන්නට හැකි ළිංමැඩියෝ ද ඕනෑම සභාවක සිටිති. අමරසේකර එසේ බටහිරට තඩිබෑමෙන් පසු මම ඔහුට මෙසේ කීවෙමි.
“සර්, අපි මෙව්ව ගැන ටිකක් කතා කරන්න වෙලාවක හම්බවෙමු.”
“මේ දවස්වල නම් මං ටිකක් බිසී. අපේ පුතාලා ඇවිල්ලා.” අමරසේකර කීවේය.
ඔහුගේ පුතා ඇවිත් සිටින්නේ අනුරාධපුරයේ කුරක්කන් හේනක් වවමින් සිට නොවේ. අර ජරාජීර්ණ බටහිර සිටය. සිංහලත්වය ද ජාතිකත්වය ද නසන්නට කුමන්ත්‍රණය කරන බටහිර සිටය. එහෙත් තමාගේ දරුවාවත් ජාතියේ ධර්මද්වීපයේ තබා නොගත් අමරසේකර තමන්ගේ නොවන දරුවන් ජාතිය වෙනුවෙන් දංගෙඩියට වුවද යවන්නට මැලි නොවේ.
අමරසේකරගේ පුතා බටහිර රටක සැපවත් ජීවිතයක් ගත කිරීම වරදක් නැත. ඔහුගේ පුතාට ඇති ඒ සර්වභෞමික (Cosmopolitan) ජීවිතය හා අන්තර්ජාතික ජීවිතය ජාතියේ සෙසු දරුවන්ටත් තිබිය යුතුය. අමරසේකර අවංක නම් කළ යුත්තේ සිංහල ජාතිකත්වය යනු ඕනෑම සංස්කෘතියක් උගන්නා ඕනෑම සංස්කෘතියක් හා මිශ්‍රවන සුඛනම්‍ය ජාතිකත්වයක් ලෙස විස්තර කිරීමයි. මේ කුහකකම අමරසේකරට පමණක් ආවේනිකවූවක් නොවේ. ලංකාවේ බොහෝ ජාතිකවාදීන් පාරිශුද්ධ ජාතිකත්වයක් ගැන අලංකාර කතා කිව්වද තමන්ගේ දරුවන්ට බටහිර අධ්‍යාපනය ද බටහිර ජීවත්වීමේ අවස්ථාව ද ලබා දෙති. මේ නිසා මෙම ව්‍යාජ ජාතිකවාදීන් හෙළිදරව් කර ලංකාවට ආවේණික නියම ජාතිකත්වය යළි සොයා ගත යුතුව තිබේ.
Post a Comment