ශ්‍රී ලංකා ගණිත ගුරුවරුන් 200ක් පකිස්තානයට ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ගණිත ගුරුවරුන් 200 ක් ලබා දෙන ලෙස පකිස්තානු ජනාධිපති අසිෆ් අල් සර්දාරි මහතා කතානායක චමල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. කතානායක ඇතුළු මැති ඇමැතිවරුන් කණ්ඩායමක් පසුගියදා පකිස්තානයේ සංචාරයක නියැළුණු අවස්ථාවේදී මෙම ඉල්ලීම කර තිබේ. එම පිරිස කරච්චි නුවර දී හරසරින් පිළිගත් පකිස්තාන ජනාධිපතිවරයා කරුණු හතරක් මත ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට තමා ගෞරවය දක්වන බව ද කීවේය.

තිස් වසරක යුද්ධය නිමාවට පත්කිරීම, ත්‍රස්තවාදය තුරන් කිරීම, ශ්‍රී ලංකාව තුළ වේගවත් සංවර්ධනයකට නායකත්වය ලබාදීම, ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව සියයට 99.9 දක්වා වර්ධනය කිරීම, ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ ඉහළ තලයකට ගෙන ඒමට ක්‍රියා කිරීම එම කරුණු හතර බව සර්දාරි මහතා කීය. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ ගණිත ගුරුවරුන් 200 ක් ලබාගැනීමට හැකි වුණහොත් එය සතුටට කරුණක් බව ද ජනාධිපතිවරයා කීය.

කරච්චි නුවර සිට ඉස්ලාමාබාද් ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස පකිස්තාන් අග්‍රාමාත්‍ය යුසුප් රීසා ජෙයලාන් මහතා විසින් පිළිගනු ලැබීය. යුද සමයේ ශ්‍රී ලංකාවට දුන් සහාය අමතක නොවන බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා මෙහිදී අගමැතිවරයාට සිහිපත් කළේය.

”දෙරට අතර මිත්‍රත්වය ඉතා ශක්තිමත්. සහල් සහ සිමෙන්ති ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාව පුදුම සහගත ලෙස ප්‍රගතියක් පෙන්නුම් කරනවා” යයි මෙහිදී පකිස්තාන අග්‍රාමාත්‍යවරයා කීය. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. අස්වර් මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාගේ ඒකායන අධිෂ්ඨානයත්, නිවැරදි නායකත්වයත්, ජාත්‍යන්තර බලවේග හමුවේ ප්‍රදර්ශනය කරන නිර්භීතභාවයත් හේතුවෙන් ශ්‍රී ලංකාව ශීඝ්‍ර සංවර්ධන මාවතකට යොමුවූ බව කීය.

කතාවට පමණක් සීමා නොකළ මහින්ද චින්තනය ක්‍රියාවට නැංවීම ඊට හේතු වූ බව ද අස්වර් මහතා කීය. අස්වර් මහතා මෙහිදී මහින්ද චින්තනයේ ඉංගී‍්‍රසි පිටපතක් පකිස්තාන අගමැතිට පරිත්‍යාග කළේය. ශ්‍රී ලංකා දූත පිරිසට පකිස්තානයේ දී ඉතා වැදගත් ස්ථාන කීපයක් නැරඹීමේ අවස්ථාව ද උදා වී තිබිණි. ෙඓතිහාසික තක්ෂිලා නුවර දී පුරාවස්තු දැකබලා ගත් දූත පිරිස බුදුරජාණන් වහන්සේගේ හා අශෝක රජුගේ කාලයේ නටබුන්, ශිලා ලිපි හා බුදුපිළිම රාශියක් නැරඹූහ.
Tell a Friend