සාධාරණ සමාජයක්‌ බිහිකිරීමට අපි අදිටන් කර ගනිමු - සෝමවංශ අමරසිංහ

සිංහල දෙමළ සියලු දෙනා අලුත් අවුරුද්දේ එකම නැකතට ළිප ගිනි මෙලවුවද ඒ සියලු හදවත් එකට සහෝදරාත්මක හැඟීමකින් ප්‍රභාෂ්වර වන්නේදැයි සැක සහිත බව ජනතා විමුක්‌ති පෙරමුණ නායක සෝමවංශ අමරසිංහ මහතා අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ සඳහන්වේ.

එම සුබ පැතුම් පණිවුඩයේ මෙසේද සඳහන්වේ.

පැරණි වැරදි නිවැරැදි කර ගනිමින් අලුත් ආරම්භයක්‌ පිළිබඳ අලුත් බලාපොරොත්තු ජනිත කරවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවී ඇත. පළමු කොට ලැබූ අවුරුද්ද සුබ නව වසරක්‌ වේවායි සියලු දෙනාටම ජනතා විමුක්‌ති පෙරමුණේ සුභාශිංසන පිරිනමමු.

අලුත් අවුරුද්ද සමරන අතරේදීම අවධානයට ලක්‌ කළ යුතු කරුණු කිහිපයක්‌ද ඇති බව අපේ විශ්වාසයයි.

ජාති භේදයකින් තොරව සිංහල දමිළ සියලු දෙනා අලුත් අවුරුද්දේ එකම නැකතකින් ළිප ගිනි මොලවති. එය ඉතා උත්කෘෂ්ඨ අවස්‌ථාවකි. එහෙත් භෞතික වශයෙන් සියලු දෙනා එකම නැකතකින් ගිනි දැල්වූවද ඒ සියලු දෙනාගේම හදවත් එකම සහෝදරාත්මක හැඟීමකින් ප්‍රභාෂ්වර වන්නේද යන්න සැක සහිතය. යුද්ධය නිමාවී වසර දෙකක්‌ ඉක්‌ම යමින් තිබුණද එම ජයග්‍රහණය ශ්‍රී ලාංකේය සමාජයට ලැබී නැත. එය ලබාදීමට පාලකයන් සමත්ව නැත. ඒ නිසා මේ අලුත් අවුරුද්ද තුළදී සැබෑ ආධ්‍යාත්මික අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා අප අදිටන් කර ගත යුතුය.

ජ්‍යෙdතිෂයට අනුව අලුත් අවුරුද්ද යනු සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වීමයි. පසුගිය වසර 63 පුරාවටම විවිධ රාශීන් හරහා එකම දුෂ්ට චක්‍රයක ගමන් කළ ලාංකේය සමාජය නව රාශීන් සහිත නව චක්‍රයක්‌ දක්‌වා ගමන් කළ යුතුය. මෙතෙක්‌ ආ ගමන් මග තුළ ශ්‍රී ලංකාවේ පැවැති ආණ්‌ඩු එකක්‌වත් බහුතර ජනතාවට මන්ද පෝෂණය, ලෙඩ රෝග, අසාධාරණය හා අසහනය හැර ජයග්‍රහණය ලබාදීමට සමත්ව නැත. ඒ නිසා ජනතාවට ජයග්‍රහණය සහිත නව ගමන් මගක්‌ වෙත ලාංකේය සමාජය ගෙන යැමට අප අදිටන් කර ගත යුතුය.

සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සූර්ය මංගල්‍යයකි. හිරු මුළු රටටම එක සේ ආලෝකය ලබාදෙන නමුත් එහි ප්‍රතිලාභ ජනතාව අතර බෙදී යන්නේ බරපතළ විෂමතා සහිතවය. නිෂ්පාදනයේ ප්‍රතිලාභ සුළු පිරිසක්‌ අත ගොඩගැසෙන අතර බහුතර ජනතාවට උරුම වන්නේ පීඩනයයි. මේ ක්‍රමය වෙනස්‌ විය යුතුය. හිරු තම ආලෝකය සාධාරණව බෙදන්නා සේ සමාජයේ ප්‍රතිලාභ සියලු දෙනා අතරේ බෙදී යන සාධාරණ සමාජයක්‌ බිහි කිරීමට අපි අදිටන් කර ගත යුතුය. 63 වසරක්‌ දිග රැවටිල්ල නිම කොට ජනතා ජයග්‍රහණ ඇති සැමට ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය සහතික කරන සමාජයක්‌ නිර්මාණය කළ යුතුය. ඒ වෙනුවෙන් අධිෂ්ඨානයෙන් යුතුව සංවිධානය විය යුතුය. සටන් කළ යුතුය.

ලැබූ අලුත් අවුරුද්ද තුළදී හුදු බලාපොරොත්තු හා ප්‍රාර්ථනා පමණක්‌ ප්‍රමාණවත් වන්නේ නැත. ඒවා ඉටු කර ගැනීමට ක්‍රියාමාර්ග අවශ්‍යය. ක්‍රියාත්මක විය යුතුය. එබැවින් යහපත් සමාජයක්‌ ගොඩනැගීමට සක්‍රීය ලෙස දායක වීමට උදා වූ සිංහල - දෙමළල අලුත් අවුරුද්දේදී අදිටන් කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

Tell a Friend