UN රංගනයෙන් ඔබ්බට



නිදහස ලෙස වර්තමානයේදී අපි භුක්ති විඳින දෙය නිදහස නොවන බව තේරුම් ගැනීමම මෙහිදී වැදගත් වේ. නිදහස යැයි අපි භුක්ති විඳින්නේ ව්‍යාජ සිංහ වෙස් ගෙන සිටින කපටි නරි රැලක් විසින් ව්‍යාජ දේශමාමකභාවය නැමති සළු පිළිවලින් ආවරණය කරනු ලැබූ මර්ධනය නමැති සමාජ ව්‍යකුලතාවයයි.

නිලන්ත ඉලංගමුව 
ඇත්තේ කුමක් වුවත් එය ශ්‍රී ලාංකිකයින්ට සහ මුළු මහත් ලෝකයටම පරිශීලනය කළ හැකි වන සේ විවුර්ත විය යුතුය. එක්සත් ජාතීන්ගේ මහලේඛම් වරයා වන බන් කී මූන් මහතා විසින් පත් කරනු ලැබූ විශේෂ කමිටුව ශ්‍රී ලංකාවේ සිදු වූයේ යයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් සිදු කළ තොරතුරු ගවේෂණය අවසන් කොට අවසන් වාර්තාව ඊයේ මහ ලේඛම් වරයා වෙත ලබා දී ඇත. අදාළ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස මේ වන විටත් විවිධ සංවිධාන විසින් ඉල්ලා ඇත. කෙසේ වෙතත් අදාළ වාර්තාව ප්‍රසිද්ධ කිරීම සඳහා තවත් ටික කාලයක් ගත වනු ඇත. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩයේ අවධානය යොමු කිරීම ප්‍රථම පියවර ලෙසට සිදු වනු ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුව සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය අතර ඇති වූ යුද්ධය පසුගිය 2009 මැයි මාසයේදී අවසන් වූ අතර ඉන් පසු යුද්ධයේ අවසාන සති කිහිපය තුළදී දෙපාර්ශවය විසින්ම යුධ අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල විය. කොටි සංවිධානය විසින් සිදු කළ කටයුතු සඳහා පෙනීසිටීමට කිසිවෙකු නොමැති අතර එහි වත්මන් නායකයා ලෙස කටයුතු කරනවා යැයි කියන කුමාරන් පද්මනාදන් නොහොත් කේ. පී. සිටින්නේද මහින්ද රාජපක්ෂගේ හිතවතෙකු ලෙසය. මේ නිසා යුධ අපාරාධ සිදු වූයේනම් එහි බරපතලම චෝදනාව එල්ල වන්නේ වත්මන් රාජපක්ෂ ආණ්ඩුව වෙතය. අදාළ වාර්තාවෙන් සැලකිය යුතු දේශපාලනික වෙනසක් ලංකාව තුළ සිදු වේය, යැයි සිතීම උගහටය. නමුත් එය ජාත්‍යන්තර වශයෙන් යම් කිසි මට්ටමේ මාතෘකාවක් වනු ඇත. දැනටමත් දුගඳ හමමින් ඇති වණයක් වන මෙරට තානාපති සේවාවලට සිදු වන දෙයක් නැත. එය බොහෝ විට තව දුරටත් දේශපාලන පන්දම් කාරයින්ගේ අතකොළුවක් හැර වෙනත් කිසිඳු මට්ටමේ හිතකර තත්වයකට තල්ලු වේ යැයි සිතීම අසීරුය. කෙසේ වෙතත් අදාළ වාර්තාව මඟින් ලංකාව තුළ දේශපාලන පරිසරය වෙනස් කිරීමට හැකියාවක් නොමැත.

ලංකාවේ දේශපාලන තත්වය, සියලුම ස්වාධීන ආයතන වල බලය තමන්ගේ බූදලයක් ලෙස අතට ගැනීම ඔස්සේ මෙන්ම 18 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් රාජපක්ෂ ජනාධිපති වරයා තමන්ට රිසි සේ සිදු කොට ඇත. එසේම ඔහු විපක්ෂ දේශපාලනයද තමන් මත රඳා පවතින තත්වයට පත් කොට ඇත. මේ නිසා විපක්ෂ වූ කලී ආණ්ඩුවම වේය යන්න කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එතරමට රාජපක්ෂ විසින් විපක්ෂයේ ශක්තිය හීන කොට ඇති අතර විපක්ෂයේ පවතින අභ්‍යන්තර අර්බුධ මඟින් රාජපක්ෂ සමඟ නොනිල මට්ටමේ දේශපාලන ගනුදෙනු වලට යාමට විපක්ෂයේ සාමාජිකයින්ට සිදු වී තිබේ. පෙළ ගැසෙන දේශපාලන ප්‍රවණතාවය මඟින් පෙනෙන්නේ ඉදිරියෙදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තව තවත් බලය සංකෝචනය කරන අකාරයේ සංශෝධන ඇතුලත් විය හැකි බවයි. එසේම රාජපක්ෂ කිසි දිනක බලය අත් හැරීමට කැමති අයෙක්ද නොවේ. ප්‍රජාතනත්‍රවාදී මුලිකාංග ඝාතනය කරමින් තමන්ගේ අවසන් හුස්ම දක්වා බලයේ රැඳී සිටීම රාජපක්ෂගේ ක්‍රමෝපාය විය හැකිය. එය වසර හතළියක් තිස්සේ ලිබියාව පාලනය කරන මොහම්මර් ගඩාෆිගේ දේශපාලන භාවිතය සමඟ අතිපිහිත වන ලෙස ගැලපිය හැකිය.

ඊජිප්තුවේ ගමාල් අබ්දෙල් නසාර් ගේ පුත්‍රයෙකු ලෙස තමන්ට හැඟෙන බව ගඩාෆි ප්‍රකාශ කරන අකාරයෙන්ම තමන් තුන් සිංහලය එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ අවතාරය ලෙස රාජපක්ෂ තමන්ව හඳුන්වා ගනියි. එහෙව් අවතාරය වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මව මිය ගිය විට ඇය විසින් මෙලොවට ජාතක කළ දරුවන් තිදෙනා බල්ලන් ලෙස සංඛේතවත් කිරීම සඳහා අදාල දේහය ආදාහනය කළ ස්ථානයට මරා දැමුණු බල්ලන් තිදෙනෙකුගේ මළ කුණු දැමුවේ සැබෑ දුටු ගැමුණු සහ ව්‍යාජ දුටු ගැමුණු අතර ඇති වෙනස පෙනවමිනි. මෑතකදී ලිපයක් ලියමින් ලිබියානු ජනාධිපති ගඩාෆි සඳහන් කරනු ලැබූවේ මෙලෙසය," ගෙවී ගිය වසර 40 කියන්නේ දීර්ඝ කාලයක්, සිදු වූ සියල්ලම මට මතක නැහැ, මම හදපු රෝහල්, පාසල් , නිවාස මෙන්ම අනෙකුත් සියල්ල අති විශාලයි. ඔවුන් බඩගින්නේ ඉන්න විට මම ඔවුන්ට කෑම දුන්නා. එසේම රේගන් නමැති හාදයා මාව මරන්න සැලසුම් කළ ප්‍රහාරයකින් මම හදා ගන්න ගත්ත දියණිය මිය ගියා. ඒ සියල්ල එහෙම වෙද්දි බෙන්ගාසි වැනි කාන්තාර මම කෘෂිකාර්මික ප්‍රදේශ බවට පත් කරනු ලැබුවා...." රාජපක්ෂ ත්‍රස්තවාදයට එරෙහිව තමන් කළ සටනින් තුන් සිංහලයම එක්සේසත් කළ අකාරයට සේම ගඩාෆිද තමන්ගේ වසර 40 ක කෙරුවාව විස්තර කළේය. ලිබියාව තුළ බටහිර මැදිහත් වීම කෙරෙහි ලේඛකයාගේ කිසිඳු ප්‍රසාදයක් නැතත් රටක ශක්තිමත් විපක්ෂයක් සහ ආණ්ඩුපක්ෂයේ ගමන් මඟ පිළිගත නොහැකිනම් එය වෙනස් කිරීමේ අයිතිය ජනතාවට තිබේ. ඉතිහාසය දක්වමින් වර්තමාන අවශ්‍යතා මර්ධනය කිරීමට කිසිඳු නායකයෙකුට නොහැකිය. රාජපක්ෂ මෙන්ම ගඩාෆිද ඉතිහාසය නමැති ඉන්ද්‍රජාලය පෙන්වා මහජන මූලික අවශතා මර්ධනය කොට ඇත්තේ වර්තමාන අවශ්‍යතා ඉටු කිරීම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීම නොවේ. කොටින් මාරා දැමීම නිසා තමන් සදාකල් බලයේ සිටීමට හැකිවන ලෙස කළගුණ සැලකිය යුතු යැයි, යන මානසිකත්වයක් රට පුරා නිර්මාණය කොට තිබේ. එය කෙතරම් මට්ටමට සිදු කිරීමට රාජපක්ෂට අවශ්‍ය වූයේද යන්න සරත් ෆොන්සේකා හිර කිරීමෙන් පෙනේ. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. අදාළ කාරණය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා ගණනාවකදීම සඳහන් කොට ඇත.

කෙසේ වෙතත් මෙරට පවතින ඒකපාර්ශවීය දේශපාලනික රැවටීමට එරෙහිව පෙළගැසීම සඳහා ශක්තිමත් විපක්ෂයක් පමණක් නොව ශක්තිමත් සිවිල් සමාජයක්ද නැත. එය දේශපාලනික වෙනස් කම් මඟින් ඝාතනය කොට ඇත. මේ නිසා කෙතරම් දූෂණ වංචා සිදු වුවත් එය පාලනය කිරීමට කිසිඳු යාන්ත්‍රයක් සකස් කිරීමට බලපෑම් කළ හැකි මට්ටමේ දේශපාලනයෙන් ඔබ්බට ගිය ශිෂ්‍ය ව්‍යාපාර හෝ සිවිල් ව්‍යාපාර අපට නැත. රාජපක්ෂ නායකයෙකු වී සිටින්නේ එකී රික්තය තුළය. නිදහසේ මාළු වෙළඳාම කිරීමට නොහැකිව වද විදින රටක දේශපාලන ප්‍රතිසංස්කරණයක් ගැන කවර කතාද. පැරණි බමුණු මත කෙතරම් පැල පදියම් වී තිබුණත් ඉන්දියාවේ දේශපාලනයෙන් ඔබ්බට ගිය ශක්තිමත් සිවිල් ව්‍යාපාර රාශියක් ඇත. දූෂණයට එරෙහිව ආණ්ඩුවට බලපෑම් කළ හැකි අන්නා හසාරේ වැනි නායකයින් බිහි වන්නේ එකී වටපිටාව තුළින්ය. නමුත් ලංකාවේ සිදු වූයේ බොහොමයක් ස්වාධීන සිවිල් සමාජීය කණ්ඩායම් දේශපාලන අතකොලු බවට පත් වීම හෝ එක් එක් ආණ්ඩු විසින් අදාළ ව්‍යාපාර වලට එරෙහිව ගෙන ගිය ප්‍රචාර මඟින් අදාළ ව්‍යාපාර වල සාමාජීය දර්ශනය විනාශ කොට ඒවාට එරෙහිව අයහපත් ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමය. රාජ්‍ය නොවන සංවිධාන නමැති පුළුල් සංවිධාන ව්‍යුහය කෙරෙහි සාමාන්‍ය ජනතාව අතර ඇති අදහස සැලකීමෙන් එය පෙනේ. එය අතිශය අවාසනාවකි. ඒ නිසා ජනතාවට ඇති එකම විකල්පය ආණ්ඩුව බවට පත් කිරීමේ හැකියාව බලයේ සිටින ආණ්ඩු වලට හැකියාව තිබේ. රාජපක්ෂට අනුව නිදහස ලෙස හෙවත් ත්‍රස්තවාදයෙන් තොර සාමකාමී සමාජය ලෙස අර්ථ නිරූපණය වන්නේ මෙයයි. තවත් ටික කාලයකින් ශ්‍රී ලංකාවේ ඇත්තේ තනි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් යැයි රාජපක්ෂ කිව්වොත් ඒ ගැනද පුදුම විය යුතු නැත.

මීට පෙරද සඳහන් කළ ආකාරයෙන් ලංකාවේ පවතින තත්වය හමුවේ මැද පෙරදිග හමා යන මට්ටමේ විප්ලවීය සුළඟක් හමා යාවි යැයි සිහිනයකිඳු සිතිය නොහැකිය. නමුත් යමක් සිදු විය හැකිය. එනම් ජනරාල් සරත් ෆොන්සේකා මෙන් හදිසියේ ප්‍රධුර්භූත වන අයෙක් හැරෙන්නට රාජපක්ෂ හකුලුවාගෙන ඇති බලය වෙනස් කිරීම සඳහා කිසිඳු සම්ප්‍රදායක දේශපාලඥයෙකුට නොහැකිය. ඒ සඳහා ක්‍රමෝපායක් ඇති බව මෙතෙක් කිසිඳු පක්ෂයක් පෙන්වා නැත. එසේම කෙදිනක හෝ රාජපක්ෂගේ බලය වෙනස් කිරීමට ජනතාව තීරණය කළ හොත් අයිවරි කෝට් හී දැක ගත හැකි වූ නාඩගම දැක ගැනීමට ලංකාවේදීත් සිදු වුවහොත් ඒ ගැන පුදුම විය යුත්තේ නැත. පසුගිය වසරේ එරට පැවති ජනාධිපතිවරණයෙන් අලස්සනේ ඔටාරා ජයග්‍රහණය කළ අතර එහිදී හිටපු ජනාධිපති වරයා වූ ලෝරන්ට් ගැබ්ගෝ බලය භාරදීම ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු එරට මිනීමරු යුද්ධයක් ඇති විය. එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් පසු ඇති වූ ගැටුම් වලින් පාරාජය වූ ගැබ්ගෝ හෝටල් කාමරයකදී එක්සත් ජාතීන්ට භාර වන තෙක් පැවතියේ අතිශය භයානක තත්වයකි. මෙවැනිම වූ මට්ටමේ තත්වයක් ඉදිරියේදී රාජපක්ෂ විෂයෙහිලා ඇති වුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත.

කෙසේ වෙතත් නිදහස ලෙස වර්තමානයේදී අපි භුක්ති විඳින දෙය නිදහස නොවන බව තේරුම් ගැනීමම මෙහිදී වැදගත් වේ. නිදහස යැයි අපි භුක්ති විඳින්නේ ව්‍යාජ සිංහ වෙස් ගෙන සිටින කපටි නරි රැලක් විසින් ව්‍යාජ දේශමාමකභාවය නැමති සළු පිළිවලින් ආවරණය කරනු ලැබූ මර්ධනය නමැති සමාජ ව්‍යකුලතාවයයි.
Tell a Friend