යුද්ධය වෙනුවෙන් බොහෝ කැපවීම් කළත් ජනතාවට කිසිදු සහනයක්‌ ලබාදීමට ආණ්‌ඩුව සමත් වී නෑ - විපක්‍ෂ නායක

යුද්ධය වෙනුවෙන් බොහෝ කැපවීම් කළ ජනතාවට යුද්ධය අවසන්ව එළැඹෙන දෙවැනි අලුත් අවුරුදු දිනයේද කිසිදු සහනයක්‌ ලබාදීමට ආණ්‌ඩුව සමත් වී නැතැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ අලුත් අවුරුදු සුබපැතුම් පණිවුඩයේ සඳහන් වේ.

එම අලුත් අවුeරුදු පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

මෙවර අලුත් අවුරුද්ද එළැඹෙන්නේ ශ්‍රී ලංකාවාසී ජනතාව විවිධාකාර පීඩනයනට ලක්‌ව සිටින පසුබිමකය. යුද්ධය වෙනුවෙන් බොහෝ කැපවීම් කළ ජනතාව යුද්ධයෙන් පසු සහනයක්‌ හා නිදහසක්‌ බලාපොරොත්තු වුණ නමුත් යුද්ධය අවසන්ව එළැඹෙන දෙවන අලුත් අවුරුදු දිනය වනතුරු ජනතාවට කිසිදු සහනයක්‌ ලබාදීමට ආණ්‌ඩුව සමත් වී නොමැත.

ජීවන බර උසලනු නොහැකිය. පොරොන්දු වූ පරිදි වැටුප් වැඩිවීමක්‌ ලබා දී නැත. වතුකරයේ ජනතාව පීඩාවට පත්ව සිටිති. යුද්ධයෙන් අවතැන්වූවන් තවමත් අනාථ කඳවුරුවල දුක්‌ විඳිති.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප සමරනුයේ මෙවැනි පරිසරයකය. මේ තත්ත්වය අවසන් කොට යහපත් සහනශීලී ජීවිතයක්‌ හා ජනතා සුබ සෙත සදන සමාජය නිර්මාණය කර ගැනීම අප සැමගේ අපේක්‍ෂාවයි.

එළැඹෙන නව වසරේ ඒ අපේක්‍ෂාව මුදුන්පත් කර ගැනීමට අප සැම එකට එක්‌ව ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක්‌ වේවා!

Tell a Friend