ජනවාරි සිට මේ දක්‌වා ඩෙංගු උණ වැළඳී 32 දෙනෙක්‌ මියයති

ඒමන්ති මාරඹේ

මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් මැද භාගය දක්‌වා වූ කාලයේදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 3784 දෙනකු වාර්තා වී ඇති අතර රෝගයට ගොදුරු වූ 32 දෙනකු මියගොස්‌ තිබේ.

අප්‍රේල් මස ගත වූ මුල් දින පහළොව තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 716 දෙනකු වාර්තා වී ඇතැයි වසංගත රෝග අංශය පවසයි.

මෙම වසරේදී මේ දක්‌වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇත්තේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වන අතර එම සංඛ්‍යාව 1273 දෙනෙකි. ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් රෝගීන් 441 දෙනකු ද, මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙන් රෝගීන් 253 දෙනකු හා කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් රෝගීන් 206 දෙනකු වාර්තා වී තිබේ.

මෙම දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය වැඩි වශයෙන් පැතිරීමේ අවදානමක්‌ පැවැතීම නිසා ඩෙංගු මදුරු කීටයන් බෝවන පිරිසිදු වැසි ජලය එකතු වන හිස්‌ ටින්, තැඹිලි/ පොල් කෝම්බ, ඉවතලන ටයර් හා පොලිතින් විනාශ කර දමා තම නිවස තුළ අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස වසංගත රෝග විශේෂඥයන් මහජනතාවගෙන් ඉල්ලීම් කරයි.

Tell a Friend