සියළු සිරකරුවෝ මනුෂ්‍යයෝ ද? තිරිසනුන් ද? තාප්පයෙන් පිටත කතාව සහ ඇතුලත ඇත්ත කතාව

මසකට සිරකරුවන්ගේ සහල් මිටි 90 ක් නිලධාරීන් විකුණන් කති

(ලංකා ඊ නිව්ස්, 2011,මාර්තු.19, ප.ව.7.30 -හෙළිදරව්ව-*) වැලිකඩ බන්ධනාගාරයේ තිබෙන අති සුඛෝපභෝගී වාට්ටුවලට සිරකරුවකු ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරියකු රුපියල් 15,000 ක පමණ මුදලක් ලබා ගන්නා බව, එම බන්ධනාගාරයේ සිරකරුවෝ පවසති.

බන්ධනාගාර නිලධාරින් වැලිකඩ එම්.කේ.ටී-2 සහ පී-2 යන සුඛෝපභෝගී වාට්ටුවලට සිරකරුවන් ඇතුලත් කිරීමට මෙසේ මුදල් ගන්නා බව කියති.

දඬුවම් ලැබූ සිරකරුවෙකුට රජය දවසකට රුපියල් 240 ක මුදලක් වෙන් කරයි. බන්ධනාගාරවල සිරකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවන විට විශේෂයෙන් එම බන්ධනාගාරවල කුස්සියේ සේවය කරන නිලධාරින්ගේ සාක්කු බර වන බවත් සිරකරුවෝ පවසති.

සිරකරුවෙකුට මාස 06 කට වරක් ජම්පර 02 ක් ලැබිය යුතු වුවත් ලැබෙන්නේ අවුරුද්දකට ජම්පර් 02 කි. අවුරුද්දකට ජම්පර් 2ක් කිසිසේත් ප‍්‍රමාණවත් නැත. ඒ නිසා බොහෝ සිරකරුවන් ගෙවල්වලින් සුදු රෙදි ගෙන්වාගෙන ජම්පර් මසා ගනිති.

සිරකරුවෙකුට කම්බිලි දෙකක් (පොරෝන*, මුත‍්‍රා බකට් එකක්, පැදුරක්, කොහු මෙට්ටයක්, පිඟානක්, කෝප්පයක් සහ භාග බාල්දියක් හිමිය.

දඬුවම් කාලය අඩු සිරකරුවෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් පිඟානක් ඉල්ලා ගිය විට ෂොපින් බෑග් එකක දාගෙන කාපන් යැයි කියන බව පවසති.

සිරකරුවෙකුට ඇෙඟ් ගෑමට සහ රෙදි සේදීමට සතියකට සබන් කෑලි 02 ක් අයිති වුවත් ලැබෙන්නේ මාසයකට ග‍්‍රෑම් 15ක් බර සබන් කෑලි 2කි. කෝස්ටික් සෝඩා වැඩිකර එම සබන් නිෂ්පාදනය කරනු ලබන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් විසින්මය. සිරකරුවෙකුට හිසේ ගෑම සඳහා සතියකට පොල් තෙල් තේ හැඳි දෙකක් අයිති වුවත් බන්ධනාගාර නිලධාරින් විසින් ලබා දෙන්නේ සතියකට පොල් තෙල් තේ හැන්දකි.

සිරකරුවෙකුට සතියකට සීනි ග‍්‍රෑම් 15 ක් තේ සඳහා ලබාදිය යුතු වුවත් ලබා දෙන්නේ සීනි ග‍්‍රෑම් 10 කි. සතියකට දවස් තුනක් මස් මාංශ ලබාදිය යුතුයි. මස් ග‍්‍රෑම් 55 ක් සහ මාළු ග‍්‍රෑම් 53 ක් වශයෙනි. නමුත් ලබාදෙන්නේ මස් ග‍්‍රෑම් 30 ක් සහ මාළු ග‍්‍රෑම් 35 ක් පමණි.

සෑම දවසකම අල, කැරට්, බෝංචි සහ බීට් (මහා එළවළු* යන එළවළු අතරින් දෙකත් සමඟ වම්බටු, බණ්ඩක්කා සහ මෑ කරල් වැනි (පොඩි එළවළු* එළවළු අතරින් දෙකක් සමඟ වෑංජන 04 ක් අනිවාර්යයෙන් ලබාදිය යුතුය. මහා එළවළු නැතිව පොඩි එළවළු පමණක් ලබා දෙයි.

ශීතකරනවල තිබී කල් ඉකුත්වූ මාළු තොග බන්ධනාගාර නිලධාරින් විසින් අඩු මුදලට වෙළෙන්දන්ගෙන් මිලදී ගන්නා බවත් එම මාළු ආහාරයට ගැනීමෙන් සිරකරුවන් ලෙඩ වන බවත් කියති.

මස් සඳහා ගව මස් ලබාදිය යුතු වුවත් ලබා දෙන්නේ මී හරක් මස් බවත් ආහාරය සඳහා මස් ලබාදිය යුත්තේ කටු සහ තෙල් ඉවත් කර වුවත් ඒ සඳහා නිලධාරින් කිසිදු සැලකිල්ලක් නොදක්වන බවත් කියති.

දවල්ට බත් ග‍්‍රෑම් 175 ක් සිරකරුවෙකුට ලබාදිය යුතු වුවත් ලැබෙන්නේ බත් ග‍්‍රෑම් 100 කි. රාත‍්‍රී කාලයට බත් ග‍්‍රෑම් 125 ක් නියමිත නමුත් ලබාදෙන්නේ ග‍්‍රෑම් 75 කි. සිරකරුවන්ට බත් ලබාදෙන්නේ ඇලූමිනියම් කෝප්පයකින් මැනලාය. විගණක නිලධාරින් බන්ධනාගාරයට කඩා වැදුණු විට පෙන්වන්නට වෙනම කෝප්ප නිලධාරින් තබාගෙන සිටින බවද සිරකරුවෝ පවසති.

මහර බන්ධනාගාරයට දවසකට සහල් මිටි 12 ක් අවශ්‍ය වන අතර සහල් මිටි 12 න් 03 ක් කුස්සියේ නිලධාරින් විසින් ඉවත් කර තබා ගන්නා අතර එම බන්ධනාගාරයට මාසයකට සහල් මිටි 360 ක් අවශ්‍ය වේ.

දවසකට සහල් මිටි 03 බැගින් මාසයකට සහල් මිටි 90 ක් නිලධාරින් විසින් ඉවත් කර ගන්නා බවට පැමිණිලි තිබේ.

මාසය අවසානයේ සහල් මිටි 360 ක් මිලදී ගැනීම වෙනුවට සහල් මිටි 270 ක් පමණක් නිලධාරින් විසින් මිලදී ගනු ලැබේ. ඉතිරි සහල් මිටි 90 විකුණා මුදලාලිගෙන් මුදල් ලබාගන්නා බවද වාර්තාවේ.

වාර්තා වන අන්දමට මෙම සහල් ජාවාරම සිදුවන්නේ කුස්සියේ සහ ගබඩාව බාරව සිටින නිලධාරින් සහ බන්ධනාගාර අධිකාරිගේද සහයෝගය ඇතිවය.

විශේෂයෙන් බන්ධනාගාර කුස්සියේ සහ ගබඩාවේ සේවය කරන නිලධාරින් සේවය නිමාවී යන විට සිරකරුවන් සඳහා රජයෙන් ලබාදී ඇති කරවල, පොල්, මිරිස් කුඩු සහ එළවළු කළු බෑග්වල දමාගෙන යාම සුලබ දසුනක් බව කියති.


සිරකරු බිරියන්ට ලිංගික බලපෑම්

මහර බන්ධනාගාර නිළධාරීහු බන්ධනාගාරය ඇතුලට කුඩු සහ ගංජා රැුගෙන එති.

මුදල් නැති සිරකරුවන්ට නිළධාරීන් විසින් නිවාස නිවාඩු (හෝම් ලීව්* යවන්නේ නැති බවත් අවුරුදු විස්සක සිර දඬුවම් ලබා සිටින සිරකරුවකු නිවාස නිවාඩු සඳහා සුදුසුකම් ලබන්න අවුරුදු 06 ක් පුනරුත්ථාපනය විය යුතුයි.

මහර බන්ධනාගාරයේ වැඩ අංශයේ මාස 3 ක් වත් පුහුණු ව නොලැබූ, ප‍්‍රින්ස් කොලම්ගේ (බ්ලූමැන්ඩල්* ගෝලයෙකු වූ තම්බිරාජාට නිලධාරීන් විසින් නිවාස නිවාඩු අනුමත කර තිබේ.

සල්ලි තිබෙන සිරකරුවන් බන්ධනාගාර නිළධාරීන්ට රුපියල් 30,000 ත්, 40,000 ත් අතර මුදල් ගෙවා නිවාස නිවාඩු අනුමත කර ගන්නා බවට චෝදනා එල්ලවී තිබේ.

සිරකරුවන්ට බන්ධනාගාරයෙන් ලබා දෙන ඖෂධ කල් ඉකුත් වූ ඒවා බවත් එම තත්ත්වය හමුවේ සිරකරුවන්ට පිටතින් බෙහෙත් ගෙන්වා ගැනීමට සිදු වී ඇති බවත්, කියති.

අවුරුදු 10 වැඩි සිරදඬුවම් විඳින, අභියාචනයක්වත් ඉදිරිපත් කිරීමට මුදල් නැති සිරකරුවන් සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු මගින් මුදල් ලබා දෙන බවත්, බන්ධනාගාරයේ ඇතැම් නිළධාරීන් එසේ සිටින සිරකරුවන්ගේ සිරකරු අංකය සහ නම එම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට ඔවුන් මුදල් ලබා ගන්නා බවත් කියති.

සිරකරුවන් බැලීම සඳහා බන්ධනාගාරයට පැමිණෙන ඔවුන්ගේ ඥාතීන් ඔවුන්ට දෙන්නැයි රුපියල් 1000 ක් නිළධාරියකුට දුන්නොත් ඔහු රුපියල් 600 ක් අරගෙන සිරකරුට දෙන්නේ රුපියල් 400 ක මුදලක් බවත් කියති.

ව්‍යංජන වලට සහ සම්බෝල වලට මිරිස් කුඩු වෙනුවට ඩයි දමන බවත්, පොල් කිරි වෙනුවට බත් වල කැඳ යොදා ගන්නා බවත් කියති.

සිරකරුවන්ට උදේට වැසිකිලි යාමට වතුර නැති බවත්, වතුර ඉල්ලා ජනෙල් හා දොරවල් වල එල්ලී ඔවුන් කෑගසන බවත් කියති. සිරකරුවන් උසාවි ගෙන යෑම සඳහා පාන්දර 5.30 ට මැදිරි විවෘත කරන බවත්, නිළධාරීන් පාන්දර 6.00 ට වාට්ටු වලට පැමිණෙන කොට ඔවුන්ට වතුරවත් කෑමවත් ලැබී නැති බවත්, නිළධාරීන් පැමිණෙන විට උසාවි ගෙනයාමට සූදානම්ව නොසිටින සිරකරුවන්ට පහර කෑමට ලක් වන අවස්ථා බොහෝයි.

අධිකරණයට රැුගෙන යන සෑම සිරකරුවෙකුටම උදේ සහ දවල් කෑම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබා දුන්නත් ඇතැම් නිළධාරීන් එම මුදල් යටි මඩි ගසා ගෙන ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස් වලින් රැුගෙන එන කෑම සිරකරුවන්ට ලබා දෙයි.

සිරකරුවකු ඥාතීන්ට පෙන්වන්නේ මාසයකට වරකි. සිරකරුවකුට මාසයකට වරක් දත්බුරුසු සහ රේසරයක් ලබා දිය යුතු වුවත්, ඒවා දෙන්නේ මාස දෙක තුනකට වරක් බව කියති.

වැසිකිළි උතුරා යෑම නිසා සිරකරුවන් බහුතරයක් ඉකිළි කැසීමේ රෝගයට ගොදුරුවී තිබේ.

සිරකරුවන් ඉරිදා දින හැර අනෙකුත් දවස් වල උදේ 9 සිට සවස 4 දක්වා සිරකරුවන් ඔවුන්ගේ ඥාතීන්ට පෙන්විය යුතු වුවත්, නිළධාරීන් නැතැයි කියා දවල් 11 දක්වා ඥාතීන්ට රස්තියාදු වීමට සිදුව ඇති බවත් කියති.

සිරකරුවන් බැලීමට පැමිණෙන ඔවුන් බිරින්දෑවරුන්ට සහ ඥාතීන්ට සමහර නිළධාරීන් විසින් ලිංගික බලපෑම් කරන බව සිරකරුවෝ පවසති. ‘සියලූ සිරකරුවෝ’මනුෂ්‍යයෝ ය’ මේ පාඨය ලියා තිබෙන්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිට තාප්පයේ ය. තාප්පයේ එසේ ලියා තිබුණත් බන්ධනාගාර නිළධාරීන් සිරකරුවන්ට සළකා තිබෙන්නේ තිරිසනුන්ට මෙනි.මේ ලිපියෙන් අනාවරණය කළේ බන්ධනාගාර නිළධාරීන්ගේ එම තිරිසන් සැළකීමයි.

-ශාන්ත විජේසූරිය විසිනි-