නිවසේ තනියට ආ තිදරු මව ගෙල සිරකර ගසක එල්ලලා

සී. ගමගේ


චීත්ත රෙද්දකින් ගෙල සිරකර ගැටගසා ගසක එල්ලා තිබූ කාන්තාවකගේ මළසිරුරක් බුදුගේකන්ද පතනවත්තේ ගම්මිරිස් වගාවක තිබී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.සුදුපාට යට සායකින් සහ බ්ලවුසයකින් සැරසී සිටි මැයගේ සිරුර පුරා තැලීම් තුවාල දක්නට තිබූ බව පොලිසිය කීය. මේ තැනැත්තියගේ දියණිය කතරගම ප්‍රදේශයේ ගොස් ඇති බවත්, මැය එම නිවස රැකබලා ගැනීමට පැමිණ තනිව සිටියදී මෙසේ ඝාතනයට ලක්වී ඇතැයි පොලිසිය පැවසීය. මළසිරුර නිවස ආසන්නයේ මීටර් 100ක පමණ දුරින් පිහිටි ගම්මිරිස් වගාවක ඇල්බීසියා ගසක මෙසේ ගැටගසා තිබී ඇත.

පතනවත්ත කිඹුල්ලෑවේ සපු සෙවණේ පදිංචිව සිටි එම්. ඩී. ජේන් නෝනා නමැති 52 හැවිරිදි තැනැත්තියක් මෙසේ ඝාතනය කැරිණ. ඇය තිදරු මවකි. බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේ ය. පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (29) බදුල්ල මහ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි. බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආනන්ද විජේසූරිය මහතාගේ උපදෙස් පරිදි බදුල්ල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ටී. එම්. කරුණාතිලක, පොලිස් පරීක්ෂක එච්. එම්. සී. සී. හේරත්, පොලිස් පරීක්ෂක එච්. එම්. ඩබ්ලිව්. හේරත් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

Tell a Friend