විදුහල්පති පහරදුන්නැයි සිත් තැවුලෙන් සිසුවා ගෙල වැලලාගෙන


වෙල්ලස්සේ බණ්ඩාර, දයාරත්න බණ්ඩාර 


විදුහල්පතිවරයකු පහරදීමේ සිද්ධියකින් සිත් තැවුලට පත් පාසල් සිසුවෙක් ඊයේ (29) ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙසේ සිය දිවි හානිකරගෙන ඇත්තේ දැදිගම මහපල්ලේගම, ශාන්තිපුර පදිංචි සිසිර ලලිත් ගුණවර්ධන (16) නැමති සිසුවෙකි. ඔහු දැදිගම මහපල්ලේගම සේනානායක මහා විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙන ගනිමින් සිටි අයෙකි.

සිය දිවි හානි කර ගැනීමට පෙර දින සිසුවාට විදුහල්පතිවරයා පහරදී ඇතැයි ද, එම නිසා ඔහු සිත් තැවුලෙන් පසු වූ බවද දැදිගම පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව එම පාසලේ විදුහල්පතිවරයාව දැදිගම පොලිසිය ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා තමාට වාර්තාවක් ලබාදෙන ලෙස සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.

Tell a Friend