තරුණයකුගේ සිරුරක කොටස් පොහොර උරයක දමා නිවෙසකට විසි කරලා

භක්ති මෙන්ඩිස් සහ සජිත් තුෂාර ප්‍රේමදාස


කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මොලගොඩ පල්පාත ප්‍රදේශයේ නිවසක පඩි පෙළක් මතට විසිකර දමා ගිය පොහොර උරයක දමා තිබූ තරුණයකු ගේ හිස නැති මෘත ශරීරයක් හමුවී තිබේ. කොළඹ සිට නුවර දෙසට ගමන් කළ වාහනයකින් පොහොර උර දෙකක් විසිකර ඇති බව සැක කරයි. ඊයේ (29) උදය වරුවේ නිවැසියන් ලේ ගලන පොහොර උරයක් තම ප්‍රවේශ මාර්ගයේ ඇති බවට කෑගල්ල පොලිසියට පැමිණිලි කර ඇත. අවුරුදු 27 ක පමණ යැයි විශ්වාස කරන මේ මෘත ශරීරයේ උදරය මැදින් පහළ කොටස ඇති අතර එක පාදයක් දණ හිසෙන් ගලවා දමා ඉවත් කර ඇත.

තද නිල් පැහැති පිරිමි යට ඇඳුමක් පමණක් ඉතිරිව ඇත. කෑගල්ල මහේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතාගේ හා කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය කෑගල්ල ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයට යවා ඇත. කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරිස්, කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කමල් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත වැඩබලන අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සේනානායක මහතා ඇතුළු කණ්ඩායමක් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.


Tell a Friend