නිලන්ත ඉලංගමුවගෙන් සී නිවුස් පුවතකට පිළිතුරු

දේශද්‍රෝහී වෙබ් අඩවි තුනේ ප‍්‍රධානීන් අතර රහස් ගණුදෙනුවක් යන හිසින් යුක්තව අප විසින් පල කරන ලද පුවතට අදාලව ලංකා ගාර්ඩියන් කතෘ නිලන්ත ඉලංගමුව විසින් එම පුවත සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරමින් අප වෙත විද්‍යුත් ලිපියක් එවා තිබේ. අදහස් පල කිරීමේ අයිතිය මෙන්ම ඒ සඳහා පිළිතුරු දීමේ අයිතියද ඉහලින් අගය කරන ලංකා සී නිවුස් කිසිදු සංශෝධනයකින් තොරව එම ලේඛණය පල කිරීමට තීරණය කර ඇති අතර එම අසංශෝධිත ලේඛණය පහත දැක්වේ. අප විසින් පල කරනු ලැබූ පුවත හේතුවෙන් අදාළ කතුවරයින් තිදෙනාට පෞද්ගලිකව යම් කිසි සිත් රිදවීමක් හෝ වෙනත් දුෂ්කරතාවකට මුහුණ දීමට සිදු වූයේනම් කණගාටුවද ප‍්‍රකාශ කර සිටිමු.

අපහාසාත්මක බොරු ප්‍රකාශයක් "සී නිව්ස් " හී පළ කිරීම

විශේෂ ලියුම් කරුවෙකු විසින් යැයි සඳහන් කරමින් "ලංකා සි නිව්ස්" නමැති වෙබ් අඩවිය "දේශද්‍රෝහී වෙබ් අඩවි තුනේ ප්‍රධානින් අතර රහස් ගනුදෙනුවක් " යන හිසින් පසුගිය මාර්තු 25 වන දින පලකරනු ලැබූ ලිපිය මඟින් මට විරුද්ධව මුළුමනින්ම අසත්‍ය වූත් හා මනහ්කල්පිත ප්‍රබන්ධයක් වූත් ලිපියක් පල කිරීම නීතිමය වශයෙන් අපහාසයක් කර ඇති අතර එය මඟින් මගේ කීර්තියට මිල කළ නොහැකි හානියක් කොට ඇත. වොෂින්ටන් නගරයේ තැනක සිදු වූ මා සම්බන්ධ වූ රැස්වීමක් සම්බන්ධයෙන් මෙම ව්‍යාජ ප්‍රබන්ධයේ සඳහන් වේ. මා මේ වන තෙක් කිසි දිනක වොෂන්ටන් නගරයට ගොස් නැත. තවදුරටත් එහි ලංකා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සම්බන්ධිකාරිනියක ගැන සඳහන් කරයි. එවැනි කිසියම්ම හෝ සම්බන්ධිකරනියක සමඟ හමු වීමක් හෝ වෙන කිසියම්ම හෝ සම්බන්ධයක් මා කිසිම දිනක හෝ පවත්වා නැත . මේ අනුව වොෂින්ටන් නගරයේ පැවැත් වූවා යයි කියන රැස්වීම දැනුවත්වම ගොතන ලද මහා බොරුවක් වන අතර ඇමෙරිකානු සම්බන්ධිකාරණිය පිළිබඳ කතාවද එසේම දැනුවත්ව ගොතන ලද විශාල බොරුවකි. ඉන් පසු මෙම රැස්වීමේදී සිදු වුණා යයි කියන අදහස්ද එහිදී මා විසින් කළා යයි කියන ප්‍රකාශද මෙම ප්‍රබන්ධයේ තවදුරටත් සඳහන් වේ. නොපැවති රැස්වීමක් ගැන අදහස් ප්‍රකාශ කිරීමක් කළ නොහැකිය. මේ අනුව ලංකා ආණ්ඩුව සම්බන්ධයෙන් මෙම ප්‍රකාශයේ සඳහන් වන අදහස් මෙම ලිපියේ නිර්නාමික කතෘවරයාගේම අදහස් බව පෙනී යයි. මා හා අදාල රැස්වීමට සම්බන්ධ වූවා යයි කියන අනෙක් අයගේ මුවින් මෙම විශේෂ ලියුම් කරු යැයි කියා ගන්න ලේඛකයා ඔහුගේම අදහස් ප්‍රකාශයට පත් කොට ඇත. මුලුමනින්ම ගොතන ලද කතාවක් වන හෙයින් මෙම ප්‍රකාශය නීතිමය වශයෙන් ද්වේශ සහගත ප්‍රක්ෂයක් වේ. ද්වේශ සහගතව අපහාසාත්මක ප්‍රකශ කිරීම ලංකාවේ නීතිය අනුව නීති විරෝධී ක්‍රියාවක් වන අතර ඔබගේ ලංකා සි නිව්ස් ප්‍රකශනය හා එහි විශේෂ ලියුම් කරු යයි කියා ගන්නා අය විසින් මෙම නීති විරෝධී ක්‍රියාව කොට ඇත. මෙවැනි නිර්නාමික ප්‍රකාශයක් කිරීමට ඉඩ හැරීම මඟින් මෙම නීති විරෝධී අපහාස කිරීමට මෙම වෙබ් අඩවිය පවත් වා ගෙන යන සියලු දෙනා විසින්ම වග කිව යුතුය.
 
මෙම අපහාසාත්මක ප්‍රකාශයෙහි සිරස්තලයෙහි දේශද්‍රෝහියෙකු වශයෙන් සඳහන් කරන්නන් අතර මගේ නමද සඳහන් කොට ඇත. දේශද්‍රෝහියෙකු වශයෙන් කෙනෙකු නම් කිරීම හිතා මතා කර ඇති තවත් ද්වේශ සහගත ප්‍රකාශනයකි. මෙයද ලංකාවේ නිතිය යටතේ අපහස කිරීමකි. මෙම නීති විරෝධී ප්‍රකාශය සම්බන්ධයෙන්ද, ඔබ වෙබ් අඩවිය ගැන වග කිව යුතු සියලු දෙනාම වරදක් කොට ඇත.

ඔබගේ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය වූ ගොතන ලද්දක් බව ඔබ වෙබ් අඩවියේම වහාම ප්‍රක්ෂයට පත් කරමින් මා විසින් ලියා ඇති මෙම ලිපියද ඔබගේ ඉහත සඳහන් ලිපියට ලබා දුන් ප්‍රසිද්ධියේ තරමටම ප්‍රකාශයට පත් වන සේ ඔබගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරන ලෙසට මෙයින් ඉල්ලා සිටිමි. මේ අතර මේ පිළිබඳව ගත යුතු ක්‍රියා මාර්ගයන් ගන්නා සේ මාගේ නීතිඥ වරුනට පවරා ඇති බවද මෙයින් දන්වා සිටිමි.

මාධ්‍ය නිදහස, දේශ මාමකත්වයේ ඉහලම ප්‍රකාශනයක් වනවා මිස එය දේශද්‍රෝහී ක්‍රියාවක් නොවේ. දේශමාමකත්වය යනු යම් දේශයක ජීවත් වන ජනතාවගේ නිදහස සහ සුබසාධනය පිළිබඳව ඇති කැක්කුම සහ කැපවීම, නිදහස උදෙසා කැපවුණු ලේඛකයා , කවියා සහ නිබන්ධකයා දේශයක් ඉහලට ඔසවා තබන්නන් වේ. නිදහස රැකීමේ යෙදීමෙන් තොරව ඇති ජාතික මමත්වයක් නැත. මාධ්‍ය නිදහස නැති කිරීමට ගන්නා උත්සාහය වනාහි අති මහත් දේශද්‍රෝහී ක්‍රියාවකි. නිදහස නැති කොට මර්ධනය වැඩි කිරීම මඟින් ජනයා දුගී බවටත්, අසරණ බවටත්, පත් වේ. මාධ්‍ය නිදහස මඟින් රැකෙන්නේ ජනතා නිදහසයි.

මා ඉහත ඉල්ලා සිටි ප්‍රකාර මේ ලිපිය වහාම ඔබ වෙබ් අඩවියේ පල කරන ලෙස ඉල්ලා සිටිමි,

නිලන්ත ඉලංගමුව
ප්‍රධාන කතෘ
ශ්‍රී ලංකා ගාර්ඩියන්

Courtesy: Lanka C News

Tell a Friend