අමානුෂික ලෙස ශිෂ්‍යයකුට පහරදුන් ගුරුවරයා ගැන පුළුල් පරීක්‍ෂණ

සිසිල් ඩැනීසියස්‌ - කටාන විශේෂ

මිතුරකුගේ ඡායාරූපයක්‌ ළඟ තබාගෙන ඒ බැව් ගුරුවරයාට වසන් කිරීමක්‌ මුල් කරගෙන ගුරුවරයාගෙන් අමානුෂික අයුරින් පහර කෑමට ලක්‌ වූ කටාන ජම්බුගස්‌වත්ත අංක 424 බී දරන නිවසේ පදිංචිව සිටි 17 හැවිරිදි කාර්මික විද්‍යාල සිසුවකු දකුණු අතේ අස්‌ථියක්‌ද බිඳීමෙන් පසු ඉකුත් 15 දා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මීගමුව - ඒත්තුකාල ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක ත්‍රීවිලර් පාඨමාලාවක්‌ හදාරමින් සිටි මෙම සිසුවා මෙම විදුහලට ඇතුළත් වී ඇත්තේ 2011 ජනවාරි මාසයේය.

සිසුවාට අමානුෂික අන්දමින් පහර දුන් ගුරුවරයා මීගමුව පොලිසිය මගින් දැඩි පරිශ්‍රමයක්‌ දරා අත්අඩංගුවට ගෙන ඉකුත් 16 දා උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

මෙම සැකකාර ගුරුවරයා මාර්තු මස 21 වැනි සඳුදා දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

වැඩිදුර විමර්ශන මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සෝමසිරි ලියනගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් සිදුකරයි.
Tell a Friend