මම කොරොනවා ..රට හදනවා.. ලෝකෙටත් කියනවා ... අනේ ඉතින් කතිරයක් ගහන්න

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කොළඹ දිස්‌ත්‍රික්‌ ශ්‍රීලනිප සමුළුව අමතමින් කල කතාව පහත පළවේ. ඔහු කල දේ, කරන දේ සහ කරන්න යන දේ මෙහි සවිස්තරාත්මකව දැක්වෙන අතර තමන්ගේ සතුරන් ගැනද විවරණයක යෙදෙනෙ ආකාරය පෙනේ. කටකතා වලින් ආණ්‌ඩු පෙරළිය නොහැකි බවත්, විපක්‍ෂය ජාත්‍යන්තරය හමුවේ රට පිළිබඳව වගකීමකින් කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

මහින්ද රජාපක්ෂ

මෙම පළාත් පාලන මැතිවරණයේදී ඔබට විශාල යුතුකමක්‌ ඉටුකරන්න තිබෙනවා. මේ මැතිවරණය ආණ්‌ඩු පෙරළන ජනාධිපතිවරයා වෙනස්‌කරන මැතිවරණයක්‌ නොවෙයි. ඊළඟ ජනාධිපතිවරණය තියෙන්නේ 2017 දී, පාර්ලිමේන්තු මැතිවරණය තියෙන්නේ 2016 දී. ඒ නිසා ආණ්‌ඩු පෙරළන්න නම් ඕන කෙනෙකුට එදා වනතෙක්‌ ඉන්න සිදුවෙයි. දැන් තියෙන්නේ මේ රටේ ජනතාව බහුතර බලයක්‌ පිහිටුවා ආණ්‌ඩුව සමග ගම හදා රට හදන්නයි. අපේ ආණ්‌ඩුව කටයුතු කරන්නේ මිනිසා හදලා පවුල හදලා, ගම හදලා රට හැදීමේ ගමනක්‌ යන්නයි.

මේ රටේ රැස්‌වෙලා කතා කරන්න බැරි යුගයක්‌ තිබුණා. අපි ඒ යුගය අවසන් කර නිදහසේ බියෙන් සැකෙන් සියලු ජනතාවට සමගියෙන් ඉන්න පුළුවන් රටක්‌ නිර්මාණය කර දුන්නා. ඒ නිදහස අද ඔබ බුක්‌ති විඳිනවා. මේ රටේ ජනතාව රජයත් එක්‌ක එම නිදහස අත්විඳිනවා බලන් ඉන්න බැරි ඊට ඊෂිHයාකරන පිරිස්‌ අධිරාජ්‍යවාදීන් සමග එකතුවෙලා විවිධ කුමන්ත්‍රණ කරනවා. අපිව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයන්න ඕන කියලා කියනවා.

අපි අපරාධයක්‌ කරලා නෑ. අපරාධයක්‌ කර තිබේ නම් ඒවා හොයලා බලන්න ක්‍රම තිබෙනවා. මේ ආණ්‌ඩුව කරපු අපරාධය මොකක්‌ද? අපි කළ අපරාධය කොටි ත්‍රස්‌තවාදය මර්දනය කරපු එකද? රට එකතු කර ජාතික සමගිය ඇතිකරපු එකද? බියෙන් සැකෙන් තොරව සියලු දෙනාට ජීවත්වෙන්න රටක්‌ ඇතිකරපු එකද? බෝම්බ පිපිරීම නතර කරපු එකද? එහෙමත් නැත්නම් මරාගෙන මැරෙන කොටි ත්‍රස්‌තවාදය අවසන් කරපු එකද? මේ අය අපි මනාව අයිතීන් කැඩුවා කියලා කියනවා. මානව අයිතීන් කඩවුණේ කාගෙද? අපේ මානව අයිතීන් උල්ලංඝනය කරන්න අපේ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කොටින්ට උල්පන්දන් දුන්නා. මා එංගලන්තයට ගිය වෙලාවේ එයාර්පෝර්ට්‌ එක, නවාතැන්ගත් හෝටලය වටකළා. මේක ඇතුලේ සිටියේ කොටි. විපක්‍ෂ මන්ත්‍රීවරු මේවාට උල්පන්දම් දෙන්න ගිහිල්ලා සිටියා. විපක්‍ෂයේ මන්ත්‍රීවරු මීට වඩා තම මාතෘභූමිය පිළිබඳව සිතිය යුතුයි.

එදා අපේ වීරෝදාර රණවිරුවන් මේ රටට නිදහස උදාකර දෙන්න කටයුතු කරද්දී ඒ අයගේ මානසිකත්වය බිඳ දමන්න ඇතැමුන් මොනවද නොකිව්වේ. අපිට ඒවා තවම මතකයි. අලිමංකඩ කියලා පාමංකඩ යනවයි කිව්වා. කිලිනොච්චි කියලා මැදවච්චි යනවයි කිව්වා. දැනුත් ඒවගේ දෙයක්‌ තමයි කරන්න හදන්නේ. මානුෂිකත්වය බිඳ දාලා රටේ ජනතාව තුළ බියක්‌ ඇතිකරන්නයි එදාත් උත්සාහ කළේ. ඒක අදත් කරන්නයි හදන්නේ.

අපේ ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ ලෝක ශූරයන් වෙන්න අද ක්‍රීඩාකරනවා. ඔවුන් වෙනුවෙන් අපි අලුතින් ක්‍රීඩාංගණ ඇති කළා. සූරියවැව, පල්ලෙකැලේ ක්‍රීඩාංගණ ඇති කළා. ඛෙත්තාරාම ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් නවීකරණය කළා. ඒ ක්‍රීඩාංගණය ප්‍රේමදාස ක්‍රීඩාංගණය කියලා අපි අලුත්වැඩියා කිරීම නතර කළාද? නෑ. අපි එතරම් පටු විදියට හිතන මිනිසුන් නොවෙයි. ඒ ක්‍රීඩාංගණයට පමණක්‌ බිලියනයකට වඩා වැය කළා. අපි ඒ විදියට ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගොඩනගන විට දැන් මොකද කරන්නේ. ඒ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳ දමන්න කටයුතු කරනවා.

මේක ඡන්ද කාලයක්‌ නිසා ජනතාව නොමග හරින්න නොයෙක්‌ බොරු ප්‍රචාර ගෙනයනවා. එදා ලෝක කුසලානයට මුරලිදරන් ක්‍රීඩාකරද්දී ඔහු ලංකාවට ආවහම අත්අඩංගුවට ගන්න යනවා කියලා ප්‍රචාරය කළා. එදා ගෙන ගිය මතවාදයක්‌ වගේ අදත් අපේ ක්‍රීඩකයන් අපේ රට ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්‌ කරන්න කටයුතු කරගෙන යනවා.

කටකතාවලින් ආණ්‌ඩු පෙරළන්න බෑ. විපක්‍ෂය මෙයට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. මම ඉන්දියාවට ගිය අවස්‌ථාවේ ඉන්දියාවේ විපක්‍ෂ නායකයා හමුවූ අවස්‌ථාවේ ඔහු මට කිව්වේ "අපි දේශපාලන වශයෙන් මොන සටනේ හිටියත් ලෝකය ඉදිරියට ගිය විට නගන්නේ ඉන්දියානු හඬ කියලා." එහෙමයි ඉන්දියාවේ විපක්‍ෂය කටයුතු කරන්නේ. ඒ වගේ අපේ විපක්‍ෂයේ වගකීම විය යුත්තේ ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකා හඬ නැගීමයි. මාතෘභූමිය වෙනුවෙන් එහෙම පෙනී ඉන්න ආත්මශක්‌තියක්‌ අද විපක්‍ෂයට නෑ. ඔවුන් කටයුතු කරන්නේ ලෝකය ඉදිරියේ රට පාවාදීමටයි. අද මගේ මානසික තත්ත්වය වට්‌ටන්නත් විවිධ කටකතා ගෙනියනවා. කොටියගේ වෙබ් අඩවියක්‌ කළ බොරු ප්‍රචාරයක්‌ අපේ අය අරගෙන ඒක ගමක්‌ ගානේ ප්‍රචාරය කළා. මේක තමයි මේ කණ්‌ඩායම කරන වැඩපිළිවෙළ.

මැතිවරණ කාලයට ගෙන යන මේ වගේ ප්‍රචාර ජනතාව පිළිගන්නේ නෑ. අද කතාකරන්න දෙයක්‌ නැතුව මේ වගේ මඩ ප්‍රචාර ගෙන යනවා. විපක්‍ෂය තුළ අද බේදයක්‌ ඇතිවෙලා. අපේ ආණ්‌ඩුවේ එහෙම දෙයක්‌ නෑ. විපක්‍ෂයේ අය අපේ පක්‍ෂයට එන්න අහනවා.

ඉතිහාසයේ කවදාවත් නොමැති විදියට අපේ පක්‍ෂය ආණ්‌ඩුව ශක්‌තිමත් කරගෙන මේ ගමන යනවා. රටට සාමය ලබාදුන්නා සේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළත් කරගෙන යනවා. මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අද රටේ විදුලිය කැපෙන්නේ නෑ.

විදුලිය බලාගාර හදලා ඉහළ කොත්මලේ කෙරවලපිටිය නොරෙච්චෝලේ බලාගාර ඉදිවෙනවා. රට පුරා පාරවල් හැදෙනවා. ගමේ පාර හැදිලා වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණය වෙනවා. කොළඹ විතරක්‌ නොවෙයි අද සෑම ගමකම පාරවල් හැදිලා එදා මේවා කෙරුණේ නෑ. 2012 වන විට සෑම නිවසකටම විදුලිය ලබාදීම අපේ ඉලක්‌කයයි. සෑම ගමකටම ජලය ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න සූදානම්. රටේ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ඊට අවශ්‍ය පිළියම් යොදා ගම දියුණු කරනවා.

අද සෑම කෙනෙකුටම වගේ දුරකථන තියෙනවා. රට සංවර්ධනයත් එක්‌ක නවීන ලෝකයත් සමග අප ගමන් කළ යුතුයි. ගමනැගුම, මගනැගුම, වගේ දිවි නැගුම වැඩපිළිවෙළ අපි ආරම්භ කළා.

එදා ගමේ තිබූ පොල් අතු මැටි ගෙවල් අද නෑ. අද හොඳ නිවාස හැදිලා. විදුලිය ලැබිලා. නමුත් එදා පොල්අතු හා මැටි ගෙදර ලස්‌සනට තිබූ ගෙවත්ත අද දකින්න නෑ. අද එළවළු පාත්තියක්‌ නෑ. නැවතත් මේ තත්ත්වය ඇති කළ යුතුයි. අරලියගහ මන්දිරයෙත් අද මල් වෙනුවට වැවෙන්නේ එළවළු පලතුරු භෝග.

ගෘහ ආර්ථික ඒකක දස ලක්‍ෂයක්‌ ඇති කිරීමේ ජාතික වැඩපිළිවෙළ තුළින් මේ ආර්ථිකය ශක්‌තිමත් කෙරෙනවා. ගෙදර මල් පෝච්චිය එළවළු පෝච්චියක්‌ කරගෙන යන්න. මේ ගෘහ ආර්ථික දසලක්‍ෂයේ වැඩපිළිවෙළ තුළින් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය අති විශාලයි. අපි ගම ගොඩනගන මේ වැඩපිළිවෙළත් එක්‌ක ගෘහස්‌ත කර්මාන්ත සත්ත්ව පාලනයත් දියුණු වෙනවා. මේ කරුණු සමග ගම ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉදිරියට යනවා.

මේ රටේ පමණක්‌ නොව විදේශ රටවලත් අපට විරුද්ධව කෑගසන අයට හොඳ උත්තරයක්‌ දෙන්න ඔබට අවස්‌ථාව ලැබිලා තියෙනවා. ඔබ ලබන 17 වැනිදාට බුලත් කොළය ඉදිරියේ කතිරය ගසා මේ රටේ ජනතාව අප සමග ඉන්න බවට ලෝකයට හොඳ පණිවුඩයක්‌ දිය හැකියි. මේ රටේ ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය අපි කිසිවිටෙක කඩකරන්නේ නැහැ.

Tell a Friend