මැකො ගංවතුරට ලෑස්ති වෙයි

ඡන්ද දිනවල හදිසි ගංවතුරක්‌ ආවොත් බෝට්‌ටු සූදානම් කර තබන්නැයි ඡන්ද කොමසාරිස්‌ දන්වයි

රනිල් ධර්මසේන - කළුතර විජයසිරි විද්‍යාසේකර

පළාත් පාලන මැතිවරණ දිනවල හදිසි ගංවතුර තත්ත්වයක්‌ ඇති වුවහොත් ඡන්ද පෙට්‌ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්‌ථාන කරා රැගෙන යැමට බෝට්‌ටු සූදානම් කර තබන ලෙස මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතා දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් මගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇත.ගංවතුර තත්ත්වයන් වැනි හදිසි ආපදා අවස්‌ථාවකදී ඊට මුහුණදී කටයුතු කිරීමට ග්‍රාම නිලධාරීන්ගේ හා අදාළ රජයේ නිලධාරීන්ගේද සහාය ලබා ගන්නා ලෙසද උපදෙස්‌ දී තිබේ.

ඡන්ද විමසන දිනට පෙර දින ඡන්ද පෙට්‌ටි හා ඡන්ද නිලධාරීන් ඡන්ද මධ්‍යස්‌ථාන කරා ගෙන යැමත් ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව නැවත ඡන්ද පෙට්‌ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්‌ථානවලින් ඉවත් කර ගැනීමටත් හදිසි අවස්‌ථාවලදී සූදානම් විය යුතු වේ.

නිතර ගංවතුර තත්ත්වයන් ඇති වන පහත් බිම් සහිත ප්‍රදේශවල නිලධාරින් විශේෂයෙන්ම මේ සඳහා සූදානම් වන ලෙසද කොමසාරිස්‌වරයා දැනුම් දී තිබේ.

Tell a Friend