21වැනි උපන්දිනය දා වැල්ලවත්තේදී දුම්රියට බිලි


බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහ

සිය 21 වන උපන් දිනයදා පෙම්වතා සමඟ වැල්ලවත්ත දුම්රිය මාර්ගයෙහි අත් අල්ලාගෙන ගමන්කළ තරුණියක් දුම්රියේ ගැටීමෙන් එම ස්ථානයේම මියගොස් තරුණයා බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව වැල්ලවත්ත පොලිසිය කියයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මීගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ ලිපිකාරිනියක ලෙස සේවය කළ මීගොඩ නාවලමුල්ල පදිංචි රාධිකා සංකලනි (21) නමැති තරුණියකි.

තුවාල ලබා රෝහල්ගතකර ඇත්තේ ජයවර්ධනපුර සරසවියේ දෙවැනි වසරේ සිසුවකු වන කැලණිය පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

පෙරේදා (19) පෙරවරුවේ මොවුන් දෙදෙනා වැල්ලවත්තේ මුහුදු වෙරළේදී හමුවීමෙන් අනතුරුව දුම්රිය මාර්ගයෙහි කථාබස් කරමින් පැමිණෙමින් සිටියදී පානදුර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියේ හැපී ඇත. මියගිය තරුණියගේ මරණ පරීක්‍ෂණය ඊයේ (20) කළුබෝවිල දී සිදු කිරීමට නියමිතව තිබිණි.

වැල්ලවත්ත පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Tell a Friend