කතු වැකිය : ලිබියානු ආක්‍රමණය



නිලන්ත ඉලංගමුව


ඉරාකයේ අල් ටික්ට්‍රිට් හී දී AK47 තුවක්කුවක් සහ තවත් ඇමෙරිකානු ඩොලර් නෝට්ටු ගණනාවක් සමඟ ගුලක් තුළ සිටි සදාම් හුසේන් අත්අඩංගුවට ගැනීම ඉරාක ආක්‍රමණයේ අවසානය නොවූවත් එය සාදාම් හුසේන්ගේ අවසානය විය. ඔබට හතුරෙක් නොමැතිනම් හතුරෙකු නිර්මාණය කර ගත යුතුය යන න්‍යාය පසුගිය කාල වකවානුව තුළදී අපි විසින් අත් දකිනු ලැබූ මුලික සිද්ධාන්ත අතුරින් එකක් විය. සදාම් හුසේන් වූ කලි බටහිරට ඕනෑ ලෙස සෙල්ලම් කරමින් තමන්ගේම ජනතාව තලා පෙලා දැමු අයෙකි. ඉන් පසු බටහිර විසින්ම ඔහු සතුරෙකු ලෙස සලකා සමුහ සංහාරක අවි ඇතැයි චෝදනා කරමින් සදාම් විනාශ කළහ. එය හා සමාන තත්වයක් තවත් සති කිහිපයකින් ලිබියාවේ ගඩාෆි විෂයෙහිලා ආරංචි වුවහොත් ඒ ගැන පුදුම විය යුත්තේ නැත. පාර්ශව කිහිපයක් ඊට විරෝධය දැක් වූ බව පැහැදිලි නමුත් ලිබියාවේ " තහනම් ගුවන් කලාපය" සිසිරා පිය මනින නවීන ප්‍රහාරක යානා නැවත්වීම සඳහා එකී විරෝධය ප්‍රමාණවත් වී නැත. එසේම ආක්‍රමණය නතර කිරීමට එකී බලවේග වලට හැකි යැයි සිතිය නොහැකිය. අරමුණ තෙල් වෙනුවෙන් හෝ වෙනත් ස්වභාවික සම්පතක් වෙනුවෙන් වුවද ඒ සඳහා පාර කපා ඇත්තේ ගඩාෆි විසින්මය. ගඩාෆිගේ , "සංගා ... සංගා..." ඇමෙරිකානු සහ විදේශීය හමුදා වලට අනුව නාද වීමට පටන් ගෙන තිබේ. ජනතාව තමන වටා එක රාශි වීම වෙනුවට, තමන්ගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ සිටි නොඉඳුල් කාන්තාවන්ද තමන් හැර යාමට සුදානම් බව ගඩාෆි තවත් දින කිහිපයක් ඇතුළත අවබෝධ කර ගනු ඇත. මෙය තමන්ගේ අල්ලේ රටක් සහ එහි මුලික ආයතන පද්ධතිය නැටවීමට ගිය නායකයෙකු සඳහා වූ තවත් එක උදාහරණයක් පිලිබඳ කතා පුවතක් ලෙස ලෝක ඉතිහාසයට එකතු කරනු ඇත.

ජනාධිපති ගඩාෆි තමන්ට එරෙහි ජනතාවගේ නැගිටීම සඳහා අල් කයිඩා සංවිධානය සමබන්ධ වී ඇති බවට මුලදී ප්‍රකාශ කරමින් ඊට සහභාගී වූ අය සහ තමන්ගේ හමුදාවේ සමානය සිවිල් වැසියන් මරා දැමීම ප්‍රතික්ෂේප කළ හමුදා නිලධාරින් මරා දැමීම ආවරණය කිරීමට අවශ්‍ය මාවත සකසා ගත්තේය. ඉන් ඔහු අපේක්ෂා කරනු ලැබුවේ බටහිරින් සිදු වන ආක්‍රමණය වලක්වා ගැනීමට සහ තමන්ගේ යුද්ධය ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් බව ඒත්තු ගැන්වීමටය. නමුත් ඔහුට එය දීර්ඝ කාලින වශයෙන් සිදු කළ නොහැකි වූවා පමණක් නොව ආක්‍රමණිකයාට අවශ්‍ය මාවත නොදැනුවත්වම ඔහු විසින්ම සකස් කරමින් තිබුණි. එහි ප්‍රතිපලය දැන් දැක ගත හැකිය. යුද්ධය ආරම්භ වී පැය තිස් හයක් ඇතුලත ගඩාෆිගේ ප්‍රධාන මුලස්ථානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල විය. අරංචි මාර්ග සඳහන් කරන අන්දමට අදාළ ප්‍රහාර වලින් ගඩාෆිගේ එක පුත්‍රයෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. සැබවින්ම ඉරාකයේ ඇමෙරිකානු සහ සහය හමුදා කළ ආකාරයේම ආක්‍රමණයක් මේ වන විට දැක ගත හැකිය. බ්‍රිතානයේ ආරක්ෂක ලේඛම් ලියම් ෆොක්ස් සඳහන් කළ ආකාරයට, ' හැකිතරම් සිවි වැසියන් ආරක්ෂා කර ගනිමින් ගඩාෆි මරා දැමීම සඳහා" හැකි උපරිම උත්සාහය සඳහා එතරම් කාලයක් ගත වන අකාරයක් දක්නට නොලැබේ. නමුත් ගැටලුව වන්නේ ලිබියාවේ සාමය ස්ථාපිත කිරීම සහ පශ්චාත් ගඩාෆි භූමිකාව කළමනාකරණය කිරීමට කෙතරම් දුරට හැකි වේද යන්නයි.

ඊයේ රාත්‍රියේදී ( මාර්තු 20 ) ඉරාණයේ රාජ්‍ය රුපවාහිනී සේවය විකාශනය කළ වැඩසටහනකදී ප්‍රකාශ කළ පදිරිම, ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය මිනි කඳු ගොඩ ගැසූ ශාපලත් භූමියක් කළ සන්ධාන හමුදාවට තවත් රටක ස්ථිර සාර සාමයක් ඇති කළ හැකියි කිව හැක්කේ කෙසේද? නමුත් වසා තිබෙන දොරටුව තමන්ගේ මෝඩ කම නිසාම විවුර්ත කිරීමට ඉඩ දුන් කර්නල් ගඩාෆි සිදු කරගත් තක්කඩි කටයුත්ත දෛවෝපගත සිදු වීමක් ලෙස පෙනේ. එය සිදු කළ පසු පවතින සැබෑ තත්වයට මුහුණ දීමට සිදු වීම හැර වෙනත් විකල්පයක් ඔහුට නැත. ඔහු සඳහන් කරන " දීර්ඝ කාලින යුද්ධය" ඇති වන්නේ ගඩාෆිගෙන් පසු උදාවෙන කාලය තුළදී මිස වසර 40 ක් තිස්සේ කිසිඳු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාවකට හුරු නොකරමින් තමන් ගෙන ගිය පාලනය කරපින්නා ගෙන නොවේ. පවතින තත්වය අනුව පොදු වේ ගඩාෆි විරෝධී ප්‍රභල බලවේගයක් සහ ඊට සහය දැක්විය හැකි ප්‍රභල විපක්ෂයක් රට තුළ තිබේ. එය පිටත සතුරාගේ මානසිකත්වය ඉහළ දැමීම සඳහා ප්‍රයෝජනවත් විය. යුද්ධය ආරම්භ වූයේ එකී වට පිටාව සමඟිනි.

ගෝලීය දේශපාලනය හැඩ ගැසී ඇත්තේ එලෙසය. ටියුනිශියාවේ සහ ඊජිප්තුවේ දකින්නට නොලැබුණු ආකාරයේ දිග් ගැස්සී ගිය මාරාන්තික අරගලයක් ලිබියාවෙන් දැක ගත හැකි වනු ඇත. එය මහා ඛේදවාචකයක් වනු නියතය. සැබවින්ම ඇමෙරිකානු හමුදා ප්‍රධානි අද්මිරාල් මයික් මුලන් සඳහන් කළ ආකාරයට ලිබියාවේ තත්වය උගුලකට සිරවීමක් හා සමාන වනු ඇත. විශේෂයෙන් ගැටලුව ඇති වන්නේ ගඩාෆි මරා දැමීම හෝ ඔහුට වෙනිසියුලාව හෝ වෙනත් හිතවත් රටකට පැන යාමට හැකිවන ලෙස පසුබිම සැකසීම නොවේ. ගැටලුව වන්නේ ලිබියානු ජනතාව අපේක්ෂා කළ විපල්වය ඇමෙරිකානුවන්ට හෝ ඊට හිතවත් බටහිර බලකායට කළ හැකිවේද යන්නයි. එය අදාළ බලවේගයට කළ නොහැකි බව මේ වන විටත් ඔප්පු වී හමාරය. ඒ නිසා ලිබියාව විෂයෙහිලා මැජික් බලාපොරොත්තු විය නොහැකිය.


Tell a Friend