සීගිරියේ ළාබාල දැරියක්‌ අපහරණයට ලක්‌ කරලා

දැරිය තෙමස්‌ ගැබිනියක්‌ | මව ඇතුළු තිදෙනෙක්‌ අත්අඩංගුවට

සරත් එරමිණිගම්මන

වසර දෙකක්‌ තිස්‌සේ බාල වයස්‌කාර දැරියක්‌ නීත්‍යනුකූල නොවන අයුරින් අපහරණය කිරීමේ චෝදනාවකට දැරියගේ මව ඇතුළු තවත් දෙදෙනකු සීගිරිය පොලිසිය මගින් 12 දා පස්‌වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

සීගිරිය ප්‍රදේශයේ පදිංචි මවක්‌ එවකට 12 වැනි වියේ පසු වූ දැරිය ප්‍රදේශයේ තරුණයකුට අඹුකමට දී ඇත. අඹු-සැමියන් ලෙස හැසිරුණු ඔවුන් දෙදෙනාට දාව 13 වැනි වියේදී නිවුන් දරු උපතක්‌ දඹුල්ල රෝහලේදී සිදු කර ඇත. ඉපදී පැය කීපයකින්, දරුවන් දෙදෙනා මියගොස්‌ ඇත. පසුව තරුණයා යුද හමුදාවට එක්‌ව ඇත. මේ අතරතුර දැරිය ප්‍රදේශයේ වෙනත් තරුණයකු සමග හාදකමක්‌ ඇති කරගෙන ඇත. මුල් තරුණයාගේ මවට මෙම සිද්ධිය සැලවීමත් සමග දැරිය ද රැගෙන සීගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති වජිර අතපත්තු මහතා හමුවී සියල්ල පවසා ඇත.

ඒ අනුව දැරියගේ මව, වසර දෙකක්‌ දැරිය තබාගත් මුල් තරුණයාගේ මව, අනියම් ඇසුර පවත්වාගෙන ගිය තරුණයා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදාවට එක්‌ව ඇති තරුණයා අත්අඩංගුවට ගැනීමට ද පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මේ වන විට 14 වැනි වියේ පසුවන දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී දැරිය තෙමස්‌ ගැබිනියක්‌ බවට අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

සැකකරු දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


Tell a Friend