ඇමැතිත් නෑ උත්තරත් නෑ


අජිත් අලහකෝන්


හසරැල් නගන්නෝ මෙන්ම කඳුළු සළන්නෝද මේ දිනවල අඩුවක්‌ නැත. කාලගුණ වෙනස්‌ වීම නිසා පීඩාවට පත් වූවන් කඳුළු සලද්දී ඒ කඳුළුවලින් දේශපාලන වාසි ලබමින් හසරැල් නගන්නෝද සිටිත්. මේ අය ගැන ඊයේ මැතිසබයේදීද කතා කෙරිණි.

"අද ගංවතුර ගලනවා...... නාය යනවා....... පොළොව දෙදරා ගිලා බහිනවා......... කවද අහපු දේවල්ද......." විපක්‌ෂයේ සංවිධායක ජෝන් අමරතුංග ප්‍රකාශ කළේය.

"සොයිසා බලාගෙන බැඩිපුරම ගිලා බහින්නේ ඒ පැත්ත......" අමරතුංග මන්ත්‍රීවරයා ආණ්‌ඩුව පැත්තේ අසුන් ගෙන සිටි මොණරාගල විජිතමුණි සොයිසා ඇමැතිවරයාට කීවේය.

"ඇයි............ සටුතුද........" "විජිතමුණි ඇසුවේය. "මෙහෙම ගියොත් මේ පළාත් පාලන ඡන්දෙන් ආණ්‌ඩුව අන්ත පරාජයකට පත්වෙනවා........" අමරතුංග මන්ත්‍රීවරයා කියද්දී "එතකොට දිනන්නේ කවුද...." එස්‌. බී. දිසානායක ඇමැතිවරයා ඇසුවේය. "අපි........ අපි........" කියමින් ජොන් අමරතුංග මන්ත්‍රීවරයා අසුන් ගත්තේය.

පොළොව ගිලා බසින එකට, කාලගුණ වෙනස්‌වීම ගැන විපක්‍ෂය පුදුමාකාර සතුටකින් කතා කරන්නේ.............. "කාලකණ්‌ණි සතුටක්‌ ලබනවා......." පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා කීවේය.

"නෑ...... නෑ....... මම කනගාටු වෙනවා". ජෝන් අමරතුංග කියද්දී "කනගාටුයි කීවාට මෙතුමාගේ මුහුණේ හසරැලිවලින් ඒ සතුට පෙනෙනවා...." ඇමැති යාපා යළි කීය.

රටේ සංචාරක ව්‍යාපාරය පිනුම් ගසමින් ඉහළ යනවා. හාල් පොල් ගනං ගියාට කළබල වෙන්න එපා...... ඇමැති එස්‌. බී. දිසානායක ආනයන අපනයන පනත සභාවට ඉදිරිපත් කරමින් "රටේ දේශපාලනයත් වෙනස්‌ වෙනවා........." යෑයිද කීය.

ඒක නං ඇත්ත......." අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා හූමිටි තැබුවේය.

ඡේ. වී. පී. ය තිස්‌ නවයේ ඉඳලා තුනකට අඩුවුණේ ඒ වෙනස නිසයි........" ඇමැති එස්‌. බී. නැවත කීය.

"ඇයි එස්‌. බී. ඇමැතිවරයා මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට යන්නෙත් මේ වෙනස නිසයි.." අනුර කුමාර මන්ත්‍රීවරයා කීවේය.

මැති සභයේ විපක්‍ෂයේ මෙන්ම ආණ්‌ඩු පක්‌ෂයේත් අසුන් බහුතරයක්‌ ඊයේ හිස්‌ව පැවතිණි. අසා තිබූ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඇමැතිවරුන් නැත. ප්‍රශ්න ඇසූ මන්ත්‍රීවරුත් නැත.

දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා ප්‍රශ්නයක්‌ ඇසුවේය. අදාළ ඇමැතිවරයා සභාවේ නැත.

"ඇමැතිත් නෑ.......... උත්තරත් නෑ..........." දයාසිරි කියද්දී "විපක්‍ෂයත් නෑ............." සභානායක නිමල් සිරිපාල ද සිල්වා උත්තර දුන්නේය.

Tell a Friend