EXCLUSIVE: ගෝඨාබය ඊශ්‍රායලයේ පලස්තීන ප්‍රතිපත්තිය පිළිගනියි

මේ වනවිට විදේශ සංචාරයක නිරත වී සිටින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාබය රාජපක්ෂ, ඊශ්‍රායලයේ ඉහළ පෙළේ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් හමු වී ඇති බවත් එහිදී පලස්තීනය සමබන්ධයෙන් ඊශ්‍රායලය ගෙන යන ප්‍රතිපත්තිය සාධාරණ සහ යුක්ති සහගත එකක් යැයි සඳහන් කොට ඇති බව වාර්තා වේ. ලංකා ගාර්ඩියන් වෙත මීට සුළු මොහොතකට පෙර අදහස් දැක් වූ ඊශ්‍රායලයට සම්බන්ධ බුද්ධි අංශ ආරංචි මාර්ගයකට අනුව, එහිදී පලස්තීන ජනතාවගේ ස්වාධීන අයිතීන් වලට සම්පුර්ණ විරුද්ධව තම අදහස පල කොට ඇති ආරක්ෂක ලේකම් වරයා පලස්තීනුවන්ට වෙනම රජයකට අයිතියක් ඇතැයි කීම විහිළුවක් ලෙස සඳහන් කොට ඇති වාර්තා වේ. එසේම ඊශ්‍රායලය විසින් සිදු කරන්නේ ත්‍රස්තවාදයට එරෙහි අත්‍යවශ්‍ය යුද්ධයක් බවත් ඒ සඳහා තම උපරිම සහය ලබා දීමට එකඟ වූ බවත් වැඩි දුරටත් වාර්තා වේ.

ජනාධිපති රාජපක්ෂ පලස්තීනය සම්බන්ධයෙන් ගෙන යන ප්‍රතිපත්තියට සම්පුර්ණ විරුද්ධ මතයක් ඉදිරිපත් කොට ඇති ආරක්ෂක ලේකම් වරයාගේ ප්‍රකාශය ගැන කොළඹ සිට ලංකා ගාර්ඩියන් වෙත අදහස් දැක වූ ඉහළ පෙළේ ආරක්ෂක අංශ නිලධාරියෙකු එය හැඳින්වූයේ ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය හෙළිදරව් වීමක් ලෙසය.

කෙසේ වෙතත් ලංකා ගාර්ඩියන් වෙත පලස්තීනයේ රාමල්ලාහ් නුවර සිට අදහස් පළ කළ ප්‍රධාන පෙළේ පලස්තීනයේ දේශපාලන සහ සන්නද්ධ සංවිධානයක් වන හමාස් සංවිධානයට සම්බන්ධ නිලධරයෙකු කියා සිටියේ කිසියම් සංවිධානයක් හෝ රාජ්‍යක් තමන්ගේ සන්නද්ධ අරගලය හෑල්ලු කරන්නේ නම් එය ඔවුන්ගේ බුද්ධියේ හීනතාවක් හෝ සත්‍ය වසා දමමින් තම පුද්ගලික වාසී වෙනුවෙන් සිදු කරන කටයුතක් මිස වෙන කිසිවක් නොවන බවයි.

Tell a Friend