කතු වැකිය - හෙලිපින් හම්බන්තොටින් ඔබ්බට

: සුනාමි හාදයෝ සහ ගංවතුර හාදයෝ


හාදයා වූ කලි සිංහල භාෂාවේ ඇති කදිම වචනයකි. ඇතැම් විට එම යෙදුම කිසි ලෙසකින් විස්වාශ කිරීමට නොහැකි පුද්ගලයින්ට යොදනු ඇත. එකී හදයින්ට තවත් නිධානයක් පහළ වී වී ඇත. ඒ දින ගණනක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑමෙන් උන් හිටි තැන් අහිමි වූ පුද්ගලයින් ලක්ෂ ගණනකට එදා වෙලා පිරිමසා ගැනීම සඳහා ලබා දෙන ආධාර තමන්ගේ බූදලයක් ලෙස ගෙන භාවිතයට ගැනීමටය. ඒ සඳහා සුදානමින් සිටින කල්ලමරේ පිරිසක් වෙති. ඒ රාජ්‍ය සේවයේ හැකි තරම් අනිකාට විරුද්ධව පෙත්සන් ගසමින් බෙලි කපා අනෙකාට අකුල් හෙලීම තමන්ගේ රාජකාරීය ලෙස සිතා එය අකුරටම ඉටු කොට කාලය කා දැමු අයවලුන්ගේ ස්වං පෝෂණය සඳහාය. ඔවුන්ගේ ලොක්කන්ද කේලාම් මත පිහිටා කටයුතු කළ හෙයින් මෙරට රාජ්‍ය සේවය දිනෙන් දින පිළිකුලට ලක් විය. ලංකාවේ රාජ්‍ය සේවය වඩාත් හොඳ ස්ථීර [ සුඛවිහරණය සඳහා ] සේවාවක් වූයේ එලෙසය. අපට ඒ සඳහා කදිම උදාහර්ණ තිබේ. හාදයින් විසින් රටේ සම්පත් සමඟ සෙල්ලම් කළ ආකාරය ගැන නොදන්නා ශ්‍රී ලාංකිකයෙක් ඇත්නම් ඒ ලංකාවේ ඉපදීමට නියමිත අය පමණි. මොවුන්ගේ කෙරුවාව සඳහා වැඩි දුර යාමට අවශ්‍ය නැත .එනම් සුනාමි ඛේදවචකයම ප්‍රමාණවත්ය. සුනාමි රැල්ලෙන් මැරෙන්න ගිය කාන්තාවකගේ බෙල්ලේ තිබු රන් දම්වැල කඩා ගැනීම සඳහා අදාල කාන්තාව මරා දැමුවේ අපේ රටේය. එසේම කැමරාවට හසු නොවුණු අපරාධ එකල බහුල වූ බව සඳහන් වේ. මියගිය කාන්තාවන් ලිංගික අපහරණයට ලක් කළ බවද එකල පැතිර ගිය පුවත් අතර විය. ඒවායේ සත්‍යතාව ඔප්පු කිරීම සඳහා සාක්ෂි නැතත් දිනපතා සිදුවන අපරාධ දෙස බැලීමේදී ඒ ගැන පුදුම විය යුතු නැත. තමන්ගේ 13 හැවිරිදි දියණිය වසර ගණනක් තිස්සේ සහෝදරයා සමඟ එකතු වී කෙළසන රටකි මේ සිරි ලංකාව.

උතුරු නැගෙනහිර පමණක් නොව ලංකව පුරාම තිරිසෙනෙකුට ඇති ජිවිත ආරක්ෂාව සහ ගරු කිරීම මිනිස් ජීවිතයකට අහිමි කොට ඇත. ප්‍රතික්ෂේප කිරීමම මරණයේ තොණ්ඩුව ලෙසට පත් වී ඇත. එය කොටි ත්‍රස්තවාදීන්ගේ හෝ ජවිපෙ තරුණයින්ගේ කටයුතු සඳහා සිදු වූවක් නොවේ. එය සමාජ ක්‍රමය විසින් අපට දායාද කොට ඇති කාළකන්නි මනෝභාවයයි. ලෝකයේ කිසිම තැනක සිදුනොවන නාඩකම් සිදුවන රටක් බවට ශ්‍රී ලංකාව පත් වී ඇත. එක් එක් ප්‍රදේශයට උරුමක්කාරයෝ පත් වී ඇත. යාපනයේ ඩග්ලස්ගේ භූමිකාවත්, ත්‍රිකුණාමලේ පිල්ලයන්ගේ භූමිකාවත්, කොක්කඩිචෝලේ කරුණාගේ භූමිකාවත්, කැලණියේ මර්වින්ගේ භූමිකාවත් අපට හමුවන්නේ ඒ අනුවය. මොවුන් සුදු රෙදි පොරවාගෙන සිටින ත්‍රස්තවාදීන්ය. තමන්ගේ පුද්ගලික ජීවිතය සුර ලෝක වල ගත කරමින් එදා වෙලා හොයාගෙන අමාරුවෙන් දිවිය ගැට ගහ ගන්න අයවලුන්ගේ කෑමවෙලටත් තහංචි දැමීමට තරම් මොවුහු දුෂ්ට වී ඇත. නමුත් නීතියටත් ඉහළින් තමන් සිටිනවා යැයි කියන නායකයා මේ සියල්ල වන විට උඩ බලාගෙන සිටින්නේ ඇටි කෙහෙල් කෑ උගුඩුවෙකු ලෙසය. ඔහුට කට මෙන්ම ශක්තිය ඇත්තේ ඔහුගේ දූෂණ හෙළි කරන පුද්ගලයින්ට සහ විපක්ෂ දේශපාලනඥයින්ට එරෙහිව පමණි. ඔවුහු ඔහුට අනුව දේශද්‍රෝහීන්ය.

දැන් ගංවතුර නිසා විපතට පත් වූවන්ට සහනාධාර ගලා ඒමට පටන් ගෙන තිබේ. එහිදී ප්‍රමුඛ වූයේ චීනය නොවේ. එනම් රාජපක්ෂ කෑ මොර ගසමින් බනින බටහිර රටවලින්ම විපතට පත් වූ ජනතාවට පිහිට වීමට පැමිණ සිටිති. මෙය කදිමය. නමුත් මෙම සහනාධාර ගසා කෑමද දැන්මම ආරම්භ වී තිබේ. සුනාමි අවතැන්වූවන්ට ලැබුණු ආධාර වැඩිපුර තිබුණේ කොළඹ ගෙවල් වලය. ඒ කිසිවක් අසරණයින්ට ලැබුණේ නැත. රාජපක්ෂ මහතා සත් ගුණවත් භාවයෙන් පිහිට වීම සඳහා ආරම්භ කළ හෙල්පින් හම්බන්තොට ගනු දෙනුද එසේම යට ගැසුණි. දැන් ගිය දේ ගියාවේ යැයි සිතා වත්මන් තත්වය නිවැරදිව කළමනාකරණය කිරීම වැදගත් වේ. හොරුන් දැනටමත් කල්ලි ගසා ඇත. මෙය අපේ අවුලය. දේශප්‍රේමින් යැයි කියාගෙන මානසික ප්‍රමෝදයක් ලබන උතුමන්ලා තම තමාව මෙනෙහි කරගෙන සැබෑ දේශප්‍රේමින් ලෙස අනුන්ට හිමි දේ හිමි පුද්ගලයා සොයා ලබා දීමට තරම් කාරුණික වුවහොත් වෙන කිසිවක් කළ යුත්තේ නැත. ඒ දෙය ප්‍රමාණවත්ය.

Tell a Friend