සංවේදී නායකයාගෙන් සංවේදී නැති ජනතාවට සංවේදී පණිවිඩයක්

ජනතාවට සංවේදී රාජ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම සෑම රාජ්‍ය සේවකයකුගේම වගකීම බව සංවේදී නායකයා ලෙස තමන් හඳුන්වා ගන්නා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කර ඇති වාර්තා වේ.

මාතෘභූමිය ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීමේදී ආරක්ෂක අංශ කෙරෙහි තැබූ විශ්වාසය රට ගොඩනැඟීමේදී රාජ්‍ය සේවකයන් කෙරෙහි තබා ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී පෙරේදා (8) පැවැති සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. අයි. එස්. ඕ. 9001 – 2008 අන්තර් ජාතික තත්ත්ව සහතික ලබාගත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුනකට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 17කට සම්මාන ප්‍රදානය කිරීම වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කෙරිණි.

කඳුළු පුරවාගෙන එන ජනතාවගේ කඳුළු පිසදාලමින් හා සිනහවෙන් පිරි පුද්ගලයකු ලෙස ඔවුන්ව පිටත්කර යැවීමට හැකි නම් ඊට වඩා හොඳ ප්‍රමිතියක් තවත් නැතැයි කී මහින්ද රාජපක්ෂ මහතා ඒ හරහා රටේ ජනතාව සෑහීමකට පත්වන බවද සඳහන් කළේය.

විවිධ ප්‍රශ්න රැගෙන රාජ්‍ය සේවකයන් අභියසට පැමිණෙන ජනතාවගේ ගැටලුවලට සංවේදීව පිළිතුරු ලබාදිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා විවිධ හේතුන් නිසා ඇතැම්විට මිනිසුන් පීඩාවට පත්වන බවත්, එයින් බැට කන්නේ අහිංසක මිනිසුන් බවත් කීවේය. එවැනි අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය. රටේ සංවර්ධනයේ ක්‍රියාකාරී නියමුවන් වන රාජ්‍ය සේවකයන් ගමේ සංවර්ධනයටද දායක විය යුතු බවත්, ඒ ඉලක්කය කරා අප කෙසේ හෝ ළඟා විය යුතු බවත් කී මහින්ද රාජපක්‍ෂ මහතා දශක තුනක කාලයක් පැවැති ත්‍රස්තවාදය සාර්ථකව පාරජය කළේ ආත්ම විශ්වාසය හා ජනතා සහයෝගය මැද බවද කීය. රට සංවර්ධනය කරා ගමන් කිරීමේදී මේ රටේ රාජ්‍ය සේවකයන් අණදෙන නිලධාරී වශයෙන් ක්‍රියා කළ යුතු බව සිහිපත් කළ ඒ මහතා ඒ වෙනුවෙන් අවංකව පෙනී සිටිය යුතු බවත් තවදුරටත් ශක්තිමත්ව කටයුතු කිරීමෙන් අපේ අරමුණ කරා ඉතා ඉක්මනින් ළඟාවිය හැකි බවත් පෙන්වා දුන්නේය.

තවද රාජ්‍ය සේවකයන් හා දේශපාලඥයන් අතර දැඩි සබඳතාවක් තිබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා රටක් ගැන සිතන විට අපිට දේශපාලනය පිළිබඳව සිතිය නොහැකි බවත් මාතෘ භූමියේදී රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබෙන බවත් කියා සිටියේය.

නතාවගේ වැටුප් ලබන රාජ්‍ය සේවකයන් ඒ නිසාම ඔවුන් වෙනුවෙන් හොඳ සේවයක් ලබාදිය යුතු බව කී ඒ මහතා රාජ්‍ය සේවකයන් ලබාදුන් සහයෝගය මත මේ දක්වා පැමිණ තිබෙන බවද වැඩිදුරටත් පැවැසීය.

Tell a Friend