දොළොස්‌ හැවිරිදි දැරිය සමග නිදා සිටි බිරියට සැමියා යකඩ ඉන්නකින් ගසා මරයි

සෝමවීර ගම්ලත්

දොළොස්‌ හැවිරිදි දැරියක්‌ සමග නිවසේ නිදාගෙන සිටි කාන්තාවක්‌ සිය සැමියා එල්ල කරන ලද යකඩ ඉනි ප්‍රහාරයකින් ඊයේ (21 වැනිදා) උදෑසන 6.00 ට පමණ මියගොස්‌ ඇත.

මිය ගොස්‌ ඇත්තේ දුම්මලසූරිය තුංතොටඇල අයිනේ පදිංචිව සිටි මධුරසිංහ මුදියන්සේලාගේ පියසීලි (46) නමැති තිදරු මවකි.

ඉන්න හිටින්න තැනක්‌ නැතිව තුංතොට ඇල අයිනේ තාවකාලිකව පොල් අතු සෙවිලි කොට අටවා ගත් පුංචි පැල්පතක පවුල් ආරවුල් මැද ජීවත් වූ මෙම කාන්තාව පෙරේදා (20 දා) දුම්මලසූරිය පොලිසිය වෙත පැමිණිල්ලක්‌ද ඉදිරිපත් කොට තිබිණි. තමාගේ සැමියාගෙන් සිදුවන අසාධාරණකම් ඉවසිය නොහැකිව එසේ පැමිණිලිකොට එක්‌ රැයක්‌ ගෙවී පසුදිනට එළිය වැටෙන මොහොතේ එම කාන්තාවගෙන් පළිගැනීමක්‌ වශයෙන් හිසට යකඩ නාරාසනයකින් පහරදීම හේතුවෙන් මෙම මරණය සිදුවී තිබේ.

බැංකුවකට උගසට තැබූ ස්‌වර්ණාභරණ බේරාගැනීම සඳහා වැඩිමල් දියණියගෙන් ඉල්ලාගත් රුපියල් 3000 ක මුදලක්‌ නිවසේ තිබියදී නැතිවීම පිළිබඳව ඇතිවූ බහින්බස්‌ වීමක්‌ද මෙම මරණයට හේතුවී ඇත.

මිය ගිය කාන්තාවගේ මෘත දේහය ගල්මුරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

සිය බිරිඳගේ හිසට යකඩ නාරාසනයකින් පහර එල්ල කර ඇය ඝාතනයට ලක්‌කළ සැමියා වන රණබාහු මුදියන්සේලාගේ සෝමසිරි (51) නමැති අය ප්‍රදේශයෙන් පලාගොස්‌ යගම්වෙල ප්‍රදේශයේ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇත.

සිද්ධිය පිළිබඳව දුම්මලසූරිය පොලිස්‌ ස්‌ථානාධිපති සංජීව බණ්‌ඩාර මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීහු පිරිසක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Tell a Friend