මහනුවර මූලස්ථාන පොලිසිය ළඟම ගබ්සා මධ්‍යස්ථානයක්

හොර වෙදෙක් සහ තවත් 5 ක් දැලේ

ගබ්සාවක් කිරීමට රුපියල් 15,000ක මුදලක්


මහනුවර මූලස්ථාන පොලිසිය ආසන්නයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ කලක තිස්සේ සිට හොර රහසේ පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් ඊයේ (17) වැටලූ මහනුවර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකය වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්්‍යවරයකු ලෙස පෙනී සිටි ව්‍යාජ වෛද්‍යවරයකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ

බුද්ධි අංශ නිලධාරීහු කලක් තිස්සේ සිදු කළ පරීක්ෂණයකින් පසු මේ ගබ්සා මධ්‍යස්ථානය වැටලූහ. මෙහිදී ව්‍යාජ වෛද්‍යවරයාට අමතරව, වෛද්‍ය මධ්‍යස්ථාන භාරකරු හා හෙදියක ලෙස පෙනී සිටි දෙදෙනකුද තවත් සැකකාර යුවළක්ද අත්අඩංගුවට ගෙන ඇත.

ඇතැම් පාසල් ශිෂ්‍යාවන් ඇතුළු කාන්තාවන් මේ ගබ්සා මධ්‍යස්ථානය තුළින් හොර රහසේ ගබ්සා කැර ගැනීම් සිදු කැර ගන්නා බවට පොලිසියට ලැබුණු තොරතුරු මත එය වටලා තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසියට අනුයුක්ත සිවිල් ආරක්ෂක බළකා සෙබළියක ව්‍යාජ ලෙස යොදවා මේ මධ්‍යස්ථානය වටලා ඇති අතර එම මධ්‍යස්ථානය තුළින් ගබ්සාවක් කිරීමට රුපියල් 15,000ක මුදලක් අය කැර ඇතැයි පොලිසිය අනාවරණය කැරගෙන ඇත.

මෙහිදී ගබ්සා මධ්‍යස්ථානය තුළ තිබූ බෙහෙත් පෙති, කතුරු එන්නත් කටු, අත් ආවරණ ඇතුළු බෙහෙත්වර්ග හා උපකරණ තොගයක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ විශේෂ උපදෙස් මත මහනුවර කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එස්. මීඩින් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක එම්. ෆයිරුස්, උප පොලිස් පරීක්ෂක කේ.බණ්ඩාර, පොලිස් සැරයන් වරුන්වන එස්.රූබි, ආර්. බාලසූරිය, කාන්තා පොලිස් සැරයන් ඩබ්ලිව්.ප්‍රේමලතා මහත්ම මහත්මීහු මේ වැටලීම කළහ.

Tell a Friend