ජවිපේ තෛපොංගල් දින පණිවිඩය

අද තෛපොංගල් දිනයයි. හින්දු දින දර්ශනයට අනුව අලූත් අවුරුද්ද ආරම්භ වන්නේ අද දිනයේ සිටය.
හැම විටම අලූත් අවුරුද්දක් යනු අලූත් බලාපොරොත්තුවකි. අලූත් අවුරුද්දේ ආරම්භය යනු ජය ගැනීමට නොහැකි වූ අභියෝග ජය ගැනීම පිළිබඳ, විසඳා ගැනීමට නොහැකි වූ අර්බුද විසඳා ගැනීම පිළිබඳ බලාපොරොත්තු අලූත්වන මොහොතකි.


එහෙත් අලූත් අවුරුද්දේ බලාපොරොත්තුද පැරණි ගෙවී ගිය අවුරුද්දේ බලාපොරොත්තුම නම් එය කණගාටුදායකය. එය එසේ නම්, නව වසරේදී වැඩි වැඩියෙන් කැපවීමෙන්, ධෛර්යවත්ව අභියෝග ජය ගැනීමට අරගල කළ යුතුය.

වසර තිහකට ආසන්න කාලයක් පැවති යුද්ධය අවසන් වී මාස 20ක කාලයක් ගත වී ඇතත් විශේෂයෙන්ම හින්දු භක්තික දෙමළ ජනතාවට අලූත් ජීවිතයක් ලැබී නැත. දෙමළ තරුණ තරුණියෝ දහස් ගණනක් අත්අඩංගුවේ වෙති. එපමණක් නොව, ඝාතන හා පැහැර ගැනීම් පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතී. යුද්ධය නිමා වීමෙන් පසුව, දෙමළ ජනතාව බලාපොරොත්තු වූ අලූත් ජීවිතය ලබාදීමට පාලකයින් සමත් වී නැත.

එවැනි තත්වයක් තුළ උදා වන නව වසර සියලූම ලාංකේය ජනතාවටත් විශේෂයෙන්ම දෙමළ ජනතාවටත් සුවිශේෂී වන බව ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසයයි. ලබන වසරේදී අලූත් දෙයක් කතා කිරීමට නම් මේ දුෂ්ට ක‍්‍රමය වෙනස්  කළ යුතුය. ඊට මග පෙන්වීමට හා නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන් සූදානම්ව සිටී.


තෛපොංගල් දිනය සමරන හින්දු බැතිමතුන්ට ජනතා විමුක්ති පෙරමුණේ සුබ පැතුම් එක් කරන අතරම වඩා යහපත් හෙටක් වෙනුවෙන් වන බලාපොරොත්තු ජය ගැනීමට පෙරමුණ ගන්නා ලෙසද ඉල්ලා සිටිමු.