රාජපක්ෂ සජිත්ට බය වෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා පසුගියදා තමන්ගේ දේශපාලනය රැකවරණය වෙනුවෙන් කතා කරමින් සජිත් ප්‍රේමදාස මහතාට වක්‍රව පහර දුන්නේයේ. ඒ රණසිංහ ප්‍රේමදාස මහතා කොටි සංවිධානය සමඟ ගනුදෙනු කළ ආකාරය විවේචනය කිරීමෙන්ය. මේ දක්වා සජිත් නමැති විෂය තමන්ගේ දේශපාලනයට නොගත් රාජපක්ෂ මහත්තයාගේ මේ වෙස් පෙරලිය ගැන සියල්ලෝම සාවදානව බලා සිටිති. පසුගියදා ඔහු පැවැත් වූ කතාව මෙසේ පල කරන්නෙමු.

චමින්ද සිල්වා

මේ රටේ හිටපු ඇතැම් නායකයන් කොටින්ට ලබාදුන් ගිනි අවිවලින් අපේ සොල්දාදුවන් වෙඩි වැදී මිය යැමට හා ආබාධ වීමට සිදුවූ යුගය ඇතැමුන්ට අමතක වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

හෙතෙම මේ බව කියා සිටියේ පෙරේදා (10 වැනිදා) පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්‌වාමීන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් සහ ධර්මායතන ආරක්‍ෂක සභාවේ සහයෙන් බත්තරමුල්ල, පැලවත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙහි අභිනවයෙන් ඉදිකරන ලද "ලක්‌විරු සෙවන" ආබාධිත රණවිරු නිෂ්පාදන අලෙවි සංකීර්ණය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි.

මෙම අවස්‌ථාවට මහා සංඝරත්නය මැති ඇමැතිවරුන් සමඟ ගුවන් හමුදාපති එයාර් වයිස්‌ මාෂල් රොෂාන් ගුණතිලක, නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් තිසර සමරසේකර, යුද හමුදාපති ජගත් ජයසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු කලාකරුවන් සහ ප්‍රභූ ආරාධිතයන් රැසක්‌ සහභාගී වී සිටියහ.

මෙහිදී ජනාධිපතිවරයා වෙත කොළඹ ධර්මාරක්‍ෂක සභාව විසින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සම්බන්ධයෙන් සම්පාදනය කරන ලද ග්‍රන්ථයක්‌ද මුදල් නියෝජ්‍ය ඇමැති ගීතාංඡන ගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.

උත්සව ශාලාව වෙත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් විසින් කැඳවාගෙන පැමිණි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ මේ රට වෙනුවෙන් කරපු එක්‌සද් ක්‍රියාවකටයි අපි මේ අවස්‌ථාවේ විශේෂයෙන් සහභාගී වී සිටින්නේ.

1980 පළමු සොල්දාදුවා වෙඩි තියල මරපු දවසේ ඉඳල අද වෙන කොට සොල්දාදුවෝ විශාල ගණනක්‌ මියගිහින්. විශාල පිරිසක්‌ ආබාධ තත්ත්වයට පත්වෙලා තියෙනවා.

1983 වඩමාරච්චි සටන අවසන් කරන්න එදා ඉඩ ලැබුණානම් මේ තරම් සොල්දාදුවෝ පිරිසක්‌ මියයන්න හෝ ආබාධ තත්ත්වයට පත්නොවී අපේ ආර්ථිකයටත් මේ තරම් බලපෑමක්‌ නොවෙන්න තිබුණා.

මේ රටේ වඩාත් තහවුරු වෙලා තිබුණ යුගයක අපිට හිටපු ඇතැම් නායකයෝ ත්‍රස්‌තවාදය ඉවර කරන්න උදව් ලැබෙන කොට එයට එරෙහිව අපේ සොල්දාදුවෝ අතේම කොටින්ට ආයුධ ලබාදුන්නා. ඒ ආයුධම එල්. ටී. ටී. ඊ ය අපේ සොල්දාදුවන්ගේ ජීවිත විනාශ කරන්න සහ ආබාධිත තත්ත්වයට පත්කරන්න ඔවුන් යොදාගත්තා.

අපි බලයට පැමිණි පසුවත් ත්‍රස්‌තවාදය පරාජය කරන්න යන ගමන නවත්වන්න ජාත්‍යන්තර බලවේග පමණක්‌ නොවෙයි මේ රටේ ඇතැම් බලවේගත් උත්සහ කළා.

ඒ කෙසේ වෙතත් අපි බලයට පත් වෙලා ජනතාවගේ සහයෝගය මත ත්‍රිවිධ හමුදාවගේ ශක්‌තියෙන් ත්‍රස්‌තවාදයට එරෙහි මානුෂික මෙහෙයුම ආරම්භ කළා. එහිදී අපට මුහුණදෙන්න වුණ අභියෝග විශාලයි. හැම අවස්‌ථාවකම අපි දැනගෙන හිටියා මොන බලවේග ආවත් මේ රටේ මහා සංඝරත්නය ඒ වගේම ජනතාව අපත් සමඟ ඉන්නවා කියලා.

අපි දුටුවා ඒ යුගය පාවා දීම් සිදුකරමින් ජාත්‍යන්තරව අපිව අපහසුතාවන්ට පත් කරන්න විතරක්‌ නොවේ වෙනත් පටු අරමුණු ඉටුකර ගන්න උත්සහ ගත්තා. ඩොලර් වලට යටවුණු සමහර පිරිස්‌ ඒ සඳහා වෙනම වැඩපිළිවෙළක්‌ දියත් කළා. අදත් අපි ඒවා දන්නවා. සමහරු සොයා බලන්නේ ආබාධිත වූ හෝ මියගිය සෙබළුන්ගේ විස්‌තර නොවේ. වෙනත් වෙනත් තොරතුරු ඒවායේ ලැයිස්‌තු හදලා ජාත්‍යන්තරයට යවනවා පරීක්‍ෂණ කරන්න කියලා. කාට විරුද්ධව ද මේ පරීක්‍ෂණ කරන්නේ. අපි මේ කළේ මානුෂික මෙහෙයුමක්‌ ත්‍රස්‌තවාදයට විරුද්ධ සටනක්‌.

ඔබ මේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් රට විනාශ කළ ත්‍රස්‌තවාදයට එරෙහිව කළ ක්‍රියාවලිය කිසිවෙකුට අමතක කරන්න බැහැ. සමහරු අපිව යුධ අධිකරණයට ගෙන යන්න කරුණු එකතු කරනවා. ඔවුන් මේ උත්සහ කරන්නේ මොකටද කියලා තේරුම් ගන්න ඕන. විනාශ වෙලා තිබුණු රට, ජාතිය නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලියට අපි අද අවතීර්ණ වෙලා ඉන්නවා. ඒ වගේම මේ රට ගොඩනගමින් සිටිනවා. හෙට උපදින දරුවා ගැන හිතලා අපි රටක්‌ හදන්න ඕන. එහිදී අපගේ ආරක්‍ෂක අංශවලින් ලැබෙන සහය බොහොම අගය කරනවා.

අද මේ කොළඹ නගරය ලස්‌සන වෙන්නේ කොහොමද මේ ඇළවල් සුද්ධවෙන්නේ කොහොමද පාරවල් හැදෙන්නේ කොහොමද කියලා සමහරු දන්නේ නැහැ. ඒ වගේම මේ රටේ පාසල් ගොඩනැඟිලි, වැව් අමුණු හැදෙන හැටි මේවා පිළිබඳ සිතන්න. ඒ වෙනුවෙන් කැපවෙන ඒ වගේම අද මේ කාර්යට උර දුන් අපේ ඇල්ලේ ගුණවංශ නාහිමියන් ප්‍රධාන සියලුදෙනාට මගේ ස්‌තුතිය හා ගෞරවය පිරිනමනවා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අනුශාසනාවක්‌ කරමින් මෙසේ පැවසූහ.

අපේ මාතෘ භූමිය වෙනුවෙන් අපට හෙටක්‌ හදාදෙන්නට ජීවිත කැප කළ දෑත් දෙපා පූජා කළ රණවිරුවන් සිහිකර "ලක්‌විරු සෙවණ" ආබාධිත රණවිරු නිෂ්පාදන අලෙවි සංකීර්ණය අද විවෘත කළේ.

2006 වර්ෂයේ මෙම ස්‌ථානයේ ආරම්භ කළ පුහුණු මධ්‍යස්‌ථානයේ සහතිකපත් ප්‍රදාන උත්සවය පැවැත්වූයේ අරලියගහ මන්දිරයේදීයි. අද දෙවැනි උත්සව අවස්‌ථාවයි. වරක්‌ හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කරා මට මතකයි මේ රටේ පැවැතිච්ච යුද්ධය ඉවර කරන්න හමුදාව නැහැයි කියලා.

මම ඉන් පසු එතුමිය හමුවෙන්න කිහිප සැරයක්‌ උත්සාහ කරලා දවසක්‌ හමුවෙලා ඇහුවා ඔබ තුමියට රට රැකගන්න හමුදාවේ පිරිස කොච්චර ඕනෑද කියල එම ස්‌ථානයේ එවකට හිටපු හමුදාපතිතුමා සහ ආරක්‍ෂක ලේකම්තුමත් සිටියා. මම එහිදී හමුදාපතිතුමාගෙන් ඇහුවා හමුදාව හැරගිය පිරිස්‌ කොච්චරද කියලා. 18,000 ක්‌ පමණ වෙනවා කියලා එතුමා කිව්වා. නාවික හමුදාවෙන් හාරදහසක්‌ පමණක්‌, ගුවන් හමුදාවෙන් දහසකට වැඩි පිරිසකුත් කියල එතුමා කිව්වා.

මම ඊළඟට ඇහුව මේ අයට නැවත එන්න කිව්වාද කියලා. ඔව් අට වතාවක්‌ කිව්වා කිව්වා. එතකොට කී දෙනෙක්‌ ආවද කියලා ඇහුවා. එක්‌දහස්‌ ගාණක්‌ ආවා කිව්වා.

මම මගේ පන්සලට ඇවිල්ල පොඩි මාධ්‍ය සාකච්ඡාවක්‌ තියලා හමුදාවට බැඳෙන්න කියලා ආරාධනා කරා. 12,000 ක්‌ ඇවිත් බාර වුණා. මම ඒ අය හමුදාවට බාරදීලා මේ අය යාපනයේ රාජකාරියට යොදවන්න කියලා කිව්වා. ඒ පිරිසෙන් වැඩි පිරිසක්‌ අද ජීවතුන් අතර නැතිව ඇති. ඊළඟට මම වැල්ලවත්තේ ලක්‌විරු සෙවණ ආබාධිත රණවිරු සෙවන වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානය ආරම්භ කළා.

එම මධ්‍යස්‌ථානය තුළ ඇඳුම් මැසීම, විදුලි කාර්මික ශිල්පය, සම්භාණ්‌ඩ නිෂ්පාදනය, පරිගණක පුහුණුව, කොණ්‌ඩ කැපීම වැනි වෘත්තීන් උගන්වලා අපේ රණවිරු කඳවුරුවල සේවයට යොදවලා තියෙනවා. මේ වනවිට තවත් දහස්‌ ගාණක්‌ පුහුණුව ලබමින් සිටිනවා. මේ අය මේ රටේ යුද්ධය ආරම්භ කළ දිනයේ සිට මා සමඟ ජීවත් වුණා. අපිට ඕන මේ රට දෙකඩ නොවී බේරා ගැනීමටයි. අපේ රණවිරුවන්ට ගිනිඅවිය වගේම උදැල්ල හුරු නිසා මේ රට සංවර්ධනය කිරීමටත් පුළුවන්කම තියෙනවා.

මේ රට බෙදන්න ඇතැම් පිරිස්‌ උත්සාහ කළා. එයට විරුද්ධව අපි පෙළපාලි ගියා. අපි හැම අවස්‌ථාවකම කිව්වේ රට දෙකඩ කරන්න දෙන්න බැහැ රට රැකගමු කියලයි. සමහරු ස්‌වයං පාලන අයිතිය දෙන්න ගියා. තවත් සමහරු පෙඩරල් විසඳුම් දෙන්නැයි කථා කළේ. මේවාට එරෙහි වෙච්ච අපි ජාතී ෙද්‍රdaහීන් හැටියටයි සමහරු දැක්‌කේ. ඔහොම ඉන්නකොට තමයි අපිට පොඩි බලාපොරොත්තුවක්‌ ඇතිවුණේ මහින්ද රාජපක්‍ෂ මහත්තය ගැන.

එතුමා විපක්‍ෂ නායක වුණාම මේ පන්සලට ආවා ආශිර්වාද ගන්න. අගමැති වුණාම ආවා. ජනාධිපති වුණාම ආවා. මේ පාර ජනාධිපති වුණාමත් ඊට පහුවෙනිදා ආවා. අපි එදත් අදත් ඔබතුමා සමඟයි. අපිට ඕන බෙදුන රටක්‌ නොවෙයි. දැය වෙනුවෙන් සුසුම් හෙළපු ජාතියක්‌ එක්‌කළ නායකයා ඔබයි කියලයි අපි කියන්නේ. අපි රටේ යුද්ධය පවතින කොට ලේ ඕන කියන කොට ලේ දෙන්න විශාල පිරිසක්‌ මේ පන්සලේ හිටියා.

අපිට ඕනවෙලා තිබුණේ රට බේරාගන්න නායකයෙකුයි. ඒ සඳහා ඔබතුමා කළ කැපවීම අපි මේ රට තුළ පමණක්‌ නොව ජාත්‍යන්තරය තුළදී පවා දැක්‌කා.

මට මතකයි රට බේරාගන්න යන වෙලාවේ සුද්දෝ පිරිසක්‌ මේ රටට ආවා. ඒ සුද්දෝ යනකම් අපි උද්ඝෝෂණ කරලා කෑගැහුවා. ඔබතුමන් ඒ සුද්දෝ ඉස්‌සරා දණින් වැටෙන්නේ නැතිව මුහුණ දුන්නා. ඔබතුමා මේ රටේ ඇළේ, දොලේ ගහේ, කොලේ, සතා සිව්පාවගේ වටිනාකම දන්න පොළවට ආදරය කරන කෙනෙක්‌. බුද්ධ චීවරයට ගරු කරන නායකයෙක්‌.

මේ ආයතනයට මුල්ගල තබන අවස්‌ථාවේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහභාගී වුණා. මේ පන්සල යටතේ සිවිල් සමාජයට පුරවැසියන් දායාද කරන ආයතන තුනක්‌ තියෙනවා. ඒ ආයතන තුනත් මේ පන්සලත් ත්‍රිවිධ හමුදාවට මා පූජා කරල ඉවරයි. මගේ මේ පන්සල පොඩි උනාට හුඟක්‌ ලොකු අය එනවා. ඒත් මම පන්සල ලොකු කරන්න හිතල නැහැ. ලොකු කරල වැඩක්‌ නැහැ. මට ඕන මගේ ඉතිරි කාලයත් මේ රට වෙනුවෙන් සේවයක්‌ කිරීමටයි.

මගේ මීළඟ බලාපොරොත්තුව තමයි මේ රටේ යාචක දරුවෝ යනුවෙන් හොඳ විද්‍යාලයක්‌ ආරම්භ කරන්න. මේ වනවිටත් දරුවන් 80 ක්‌ අධ්‍යාපනය ලබන ආයතනයක්‌ තිබෙනවා. නමුත් එම ගොඩනැඟිල්ල වෙනත් ආයතනයකට අයිතියි. ඒ නිසා මට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ දරුවන්ට හොඳ පාසලක්‌ ඉදිකර රටට යහපත් පුරවැසියන් පිරිසක්‌ දායාද කිරීමටයි.

Tell a Friend