හෙජින් ගිවිසුමෙන් රජයට ඩොලර් මිලියන 350 ක්‌ පාඩුයි

කිසිදු සොයා බැලීමකින් තොරව හෙජින් ගිවිසුම අනුමත කිරීම නිසා මේ වනවිට රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක මුදලක්‌ ගෙවීමට සිදුව තිබෙන බැවින් එම ගිවිසුම අනුමත කිරීමේ සම්පූර්ණ වගකීම බාරගෙන කැබිනට්‌ මණ්‌ඩලය වහා ඉල්ලා අස්‌විය යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (21 වැනිදා) පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වමින් පැවසීය.

මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට අහිතකර මෙන්ම ඵලදායී එකක්‌ නොවන බව පෙන්වා දෙමින් එක්‌සත් ජාතික පක්‍ෂය ඊට දැඩි විරෝධය පළ කර සිටියද එය නොතකා කැබිනට්‌ මණ්‌ඩලයේ අත්තනෝමතික තීන්දුවකට අනුව හෙජින් ගිවිසුම අනුමත කළ බව හෙතෙම අනාවරණය කළේය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ පැවැති මෙම පුවත්පත් සාකච්ඡාවේදී කරුණු අනාවරණය කළ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලය හෙජින් ගිවිසුමේ වගකීම සම්පූර්ණයෙන්ම බාර ගත යුතු බවයි.

හෙජින් ගිවිසුම දූෂිත එකක්‌ බව රටම දැන සිටියදීත් කැබිනට්‌ මණ්‌ඩලය ඊට අනුමැතිය ලබා දුන්නේ කුමන සාධකයක්‌ මතදැයි ප්‍රශ්න කරන කිරිඇල්ල මහතා එවැනි පටු තීරණ නිසා වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ මේ රටේ ජනතාවට බව පෙන්වා දුන්නේය.

මෙම පුවත්පත් සාකච්ඡාවට බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ඒ. ෙ-. එම්. මුස්‌ම්මිල් මහතා ද සහභාගි විය.

Tell a Friend