බාහිර උපාධියට වැට බැඳේ : ආණ්ඩුවේ "ගුණ්ඩු" විශ්වවිද්‍යාල වලට ළමුන් ඇදගැනීමේ පළමු පියවර ඇරඹේ

නිලන්ත මදුරාවල


විශ්වවිද්‍යාලවල බාහිර උපාධි පාඨමාලා සඳහා මින් ඉදිරියට බඳවාගත හැක්‌කේ අදාළ පාඨමාලාව සඳහා අභ්‍යන්තරව බඳවා ගන්නා සිසුන් මෙන් දෙගුණයක්‌ පමණකි. අභ්‍යන්තරව ලියාපදිංචි කරන සිසුන් මෙන් දෙගුණයකට වැඩි ප්‍රමාණයක්‌ බාහිර පාඨමාලා සඳහා බඳවා ගැනීමට යම් විශ්වවිද්‍යාලයකට අවශ්‍ය නම් ඊට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය අනිවාර්ය වේ.

බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකි අවම සුදුසුකම උසස්‌ පෙළ විෂයයන් තුනටම සාමාන්‍ය සාමාර්ථයන් ලබා ගැනීම හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කරන අවම ඉසෙඩ් ලකුණ ලබා සිටීමයි. එම අවම ඉසෙඩ් ලකුණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වාර්ෂිකව නිකුත් කරනු ඇත.

මෙම සුදුසුකම්වලට අමතරව වෙනත් සුදුසුකම් පිළිගැනීමට සනාථන සභාවන්ට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතුවේ.

ලියාපදිංචි විය හැකි ප්‍රමාණයට වැඩියෙන් ඉල්ලුම් කර ඇති අවස්‌ථාවක අයදුම්කරුවන් තෝරා ගැනීම සඳහා අභියෝගතා පරීක්‍ෂණයක්‌ ප්‍රායෝගික පරීක්‍ෂණයක්‌ හෝ සම්මුඛ පරීක්‍ෂණයක්‌ පැවැත්විය හැකි වන අතර අදාළ පාඨමාලාව අනුව එම පරීක්‍ෂණ පැවැත්වීමට හැකිය.

මෙම නිර්ණායකයන් ඇතුළත් චක්‍රලේඛය ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලුම විශ්වවිද්‍යාලවලට යවා ඇත.

බාහිර උපාධි ප්‍රමිතියකට ලක්‌ කිරීම සඳහා ප්‍රතිපාදන කොමිසම මෙම නිර්ණායකයන් සකස්‌ කර තිබේ. මෙම චක්‍රලේඛයට අනුව කටයුතු නොකරන විශ්වවිද්‍යාලවලට බාහිර උපාධි පාඨමාලා පැවැත්වීමට අවසර නොලැබෙන බවද එම කොමිසම පවසයි.

Tell a Friend