රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ විෂ!

විසි වසරක්‌ පුරා ශ්‍රී ලංකාවේ උතුරුමැද හා අවට ප්‍රදේශවල පැතිර යමින් සිය දහස්‌ ගණනක්‌ මිනිස්‌ ජීවිත බිලිගත් රජරට වකුගඩු රෝගයට සැබෑ හේතුව ආසනික්‌ විෂවීම බව රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න සුදත් ජයසුමන මහතා පවසයි.

මේ වන විටත් විසිදහසකට ආසන්න රෝගීන් ප්‍රමාණයක්‌ රජයේ රෝහල්වලින් වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා රජය විශාල මුදලක්‌ වාර්ෂිකව වැය කරයි. මීට පෙර වකුගඩු රෝගයට හේතුව ලෙස විවිධ අදහස්‌ පළ වුවද ඒ කිසිවක්‌ වෛද්‍ය පිළිගැනීමට පාත්‍ර නොවීය. වසර කිහිපයක්‌ පුරා කරන ලද ගවේෂණයකින් මෙතෙක්‌ අභිරහසක්‌ව පැවැති රෝග කාරකය හඳුනා ගැනීමට හැකි වූ බව වෛද්‍ය ජයසුමන මහතා පවසයි. ඒ මහතාට අනුව දීර්ඝකාලීන ආසනික්‌ විෂවීමකදී දක්‌නට ලැබෙන සියලු රෝග ලක්‍ෂණ මෙම රෝගීන්ගෙන් දැකගත හැක. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සහාය ඇතිව කරන ලද පරීක්‍ෂණවලින් රෝගීන්ගේ පානීය ජලයේ ඉතා ඉහළ ආසනික්‌ සහ රසදිය සාන්ද්‍රණයක්‌ ඇති බව හඳුනාගෙන ඇත.

පානීය ජලයේ ඇති ආසනික්‌, රෝගය බහුල ලෙස ව්‍යාප්තව ඇති ප්‍රදේශවල ජලය අධික කඨිනතාව සමඟ එක්‌ව සාදන විෂ සංයෝගයක්‌ නිසා වකුගඩුවලට හානි පමුණුවන බව වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි. මේ පිළිබඳ වැඩි විස්‌තර ඉදිරි සති කිහිපයේදී හෙළිකරන බවත් රෝගය මුළුමනින් තුරන් කිරීමට අවශ්‍ය මූලික පර්යේෂණ කටයුතු ද මේ වන විට කරගෙන යන බවත් ඒ මහතා පැවැසීය. Tell a Friend