ලක්‍ෂ 1 1/2ක පිරිසක්‌ අවතැන් කඳවුරුවල

39ක්‌ මියයති; සිව් දෙනෙක්‌ අතුරුදන්

සිරිමන්ත රත්නසේකර

ඉකුත් දිනවල මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් පවුල් තිස්‌නව දහස්‌ හාරසිය අනූ හතරකට අයත් පුද්ගලයන් එක්‌ලක්‍ෂ පනස්‌ දෙදහස්‌ පන්සිය පනස්‌ දෙදෙනකු ඊයේ දහවල් වනතුරුත් අවතැන් කඳවුරු තුළ ලැගුම් ගෙන සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි. එම පිරිස මඩකලපුව, පොලොන්නරුව, නුවරඑළිය, මහනුවර, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල, මාතලේ, පුත්තලම හා මන්නාරම යන දිස්‌ත්‍රික්‌ක 10 ක ස්‌ථාපිත කර ඇති අවතැන් කඳවුරු තුන්සිය හතළිස්‌ පහක්‌ තුළ සිටින බව එම මධ්‍යස්‌ථානය කියයි.

ඉන් වැඩිම අවතැන් වූවන් පිරිසක්‌ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තා වන අතර එම දිස්‌ත්‍රික්‌කය තුළ ස්‌ථාපිත කර ඇති අවතැන් කඳවුරු දෙසිය හතළිස්‌ එකක්‌ තුළ පවුල් තිස්‌ එක්‌දහස්‌ පන්සිය පනස්‌ එකකට අයත් පුද්ගලයන් එක්‌ලක්‍ෂ විසිදෙදහස්‌ පන්සිය පස්‌ දෙනකු ලැගුම්ගෙන සිටින බව එම මධ්‍යස්‌ථානය පවසයි.

ඊයේ දහවල් වන විට පුද්ගල මරණ තිස්‌නමයක්‌ තම මධ්‍යස්‌ථානයට වාර්තා වී ඇති බවත් පුද්ගල තුවාලවීම් පනස්‌ එකක්‌ හා අතුරුදන්වීම් හතරක්‌ වාර්තා වූ බවත් එම මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙහි පුද්ගල මරණ 18 ක්‌ ද අම්පාර දිස්‌ත්‍රික්‌කයෙහි හා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගල මරණ පිළිවෙළින් 11 ක්‌ සහ 08 ක්‌ ද වව්නියා හා බදුල්ල දිස්‌ත්‍රික්‌කයන්හි එක්‌ පුද්ගල මරණය බැගින් වාර්තා වූ බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

පූර්ණ නිවාස හානි හාරදහස්‌ එකසිය තිස්‌ හතක්‌ සහ අර්ධ නිවාස හානි විසිදහස්‌ එකසිය හයක්‌ වාර්තා වන බවත් එම මධ්‍යස්‌ථාන සඳහන් කරයි.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මඩකලපුව, පොලොන්නරුව, මොනරාගල, නුවරඑළිය, මහනුවර, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, බදුල්ල, කෑගල්ල, මාතලේ, රත්නපුර, වව්නියා, මුලතිව්, පුත්තලම හා මන්නාරම යන දිස්‌ත්‍රික්‌ක 16 ට අයත් පවුල් දෙලක්‍ෂ අනූ තුන්දහස්‌ හයසිය හැත්තෑ දෙකකට අයත් පුද්ගලයන් එකොළොස්‌ ලක්‍ෂ හය දහස්‌ හාරසිය හතළිස්‌ දෙදෙනෙක්‌ විපතට පත් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

මේ වනතුරුත් තොප්පිගල ආශ්‍රිත ප්‍රදේශයන්හි ගංවතුර තත්ත්වය බැසගොස්‌ නැති බවත් එම මධ්‍යස්‌ථානය වැඩිදුරටත් සඳහන් කරයි. Tell a Friend