තෛපොංගල් දින පණිවිඩ

සෞභාග්‍යය රැකගැනීමට සැවොම එක්‌සත් වෙමු
- ජනාධිපති

තිරසාර සාමය, සහජීවනය, සමානාත්මතාව හා සෞභාග්‍යය රට තුළ අඛණ්‌ඩව පවත්වා ගැනීමට සැවොම එක්‌සත් වී කටයුතු කරමු යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තෛපොංගල් දිනය නිමිත්තෙන් පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

තෛපොංගල් උත්සවය දමිළ හින්දු ජනතාවගේ ශිෂ්ඨාචාරය හා සංස්‌කෘතික හරයන් විදහාපාන ගොවි ජනතාවගේ මහෝත්සවයකි. හින්දු භක්‌තිකයන්ට ප්‍රීතිමත් දවසක්‌.

හිරු දෙවියන්ට කළගුණ සලකන උතුම් දවසක්‌. සූර්ය නමස්‌කාරය තුළින් සරුසාර ගොවිතැනට කළගුණ සැලකීමේ උතුම් දවසක්‌ ලෙස තෛපොංගල් දිනය සංකේතවත් වේ. සංවර්ධනය නමැති රන් හිරු ධාරා වෙත ගමන් කරන ශ්‍රී ලංකාවේ හින්දු ජනතාව ලෝකයේ වෙසෙන හින්දු ජනතාවත් සමග සමරණ සතුටුදායක දවසක්‌.

මෙම තෛපොංගල් දවසේදී ජනතාව තුළ සුහදත්වය වර්ධනය වී, බිය සැක දුරු වී, විශ්වාසය හා අෙන්‍යාන්‍ය අවබෝධය සදාකල් පැවතීමට නිර්මල සිත්වලින් කෙරෙන ප්‍රාර්ථනයන්ට මම ද එක්‌වෙමි.

අපේ රටේ තිරසාර සාමය, සහජීවනය, සමානාත්මතාව හා සෞභාග්‍යය අඛණ්‌ඩව පවත්වා ගැනීමට අපි සැවොම එක්‌සත් වී කටයුතු කරමු යෑයි මෙම තෛපොංගල් දවසේදී සැමටම මම සාදරයෙන් ඇරයුම් කරමි.

"තෛයි මාසයේ උදාව නව මාවතේ උදාවයි.

මිනිසුන් අතර සබැඳියාව කෘතවේදිත්වයට හේතු වේ
රනිල් වික්‍රමසිංහ

මිනිසුන් අතර පවතින සබැඳියාව, අෙන්‍යාන්‍ය උපකාරය නොනැසී පැවතීම කෘතවේදීත්වයට හේතුවන බව එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් දිනය වෙනුවෙන් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

විපක්‍ෂ නායකවරයාගේ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

දෙමළ දින දර්ශනයට අනුව වසරේ පළමු මාසය "තෛ" ලෙස හැඳින්වේ. එහි මුල්ම දිනය හෙවත් තෛපොංගල් දා සශ්‍රීකත්වයට උරදුන් සැම මහත් කෘතවේදීත්වයෙන් යුතුව පුදනු ලැබීම ඉතා වැදගත් හා උත්කෘෂ්ඨ ගුණාංගයකි.

නිවෙස්‌ හා ගෙවතු ශුද්ධ පවිත්‍ර කොට යහපත් අස්‌වැන්නකට අවකාශය සලසා දුන් සූර්ය දෙවියන් නැමදීමත්, වගා කටයුතු සඳහා උපකාර කළ සතා සිවුපාවුන් නහවා පිරිසිදු කොට ඔවුන්ට සංග්‍රහ කිරීමත් තෛපොංගල් දිනට ආවේනික සුවිශේෂී කාර්යයන් අතර වෙයි. ඒ අනුව නව බලාපොරොත්තු සමඟින් ජීවිතය නැවත පුබුදුවාලීමට තෛපොංගල් උදාව ඉවහල් කොට ගනු ලැබේ.

කෘතවේදීත්වය පෙරදැරිව කටයුතු කිරීම පෙරදිග ශිෂ්ටාචාරය තුළ ගැබ්වී පවතින මානව හිතවාදී සලකුණකි. මිනිසුන්ට හුදෙකලා විය නොහැකි බවත් උනුන් අතර ලබැඳියාව හා අෙන්‍යාන්‍ය උපකාරය නොනැසී පැවතීම පිණිස කෘතවේදීත්වය හේතු වන බවත් තෛපොංගල් උත්සවය අපට සිහිපත් කර දෙයි.

නූතන විෂම ලෝකය තුළ මිනිසාගේ සිත දළ බවින් හා අසංවේදීත්වයෙන් පිරී පැවතීම හේතුවෙන් උනුන් අතර සාමය, සංහිඳියාව හා සබැඳියාව ගිලිහී යැමට හේතු වෙයි. එහිලා අපේ සිත්සතන් නැවත පුබුදුවාලීමට තෛපොංගල් උළෙල මහත් පිටිවහලකි.

එළැඹුණු තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකා හා ලෝකවාසී දමිළ ජනතාවට අසිරිමත් එකක්‌ ම වේවාය යන්න මගේ පැතුමයි.
Tell a Friend