"මගේ පෙකනිවැල කැපුවේ පංචිකාවත්තේදී ඒ නිසා මමත් ඔය හැම දෙයක්‌ ගැනම තෙම්පරාදු වූ මිනිහෙක්‌."

ශාන්ත ලාල් නානායක්‌කාර

පෞද්ගලික බස්‌ සංගම් වර්ජන දියත් කරන බවට තර්ජනය කරනවා. මම ඔය වර්ජනවලට බිය මිනිහෙක්‌ නෙමෙයි. මගී ප්‍රවාහනය සම්බන්ධව මට ඔය කවුරුවත් කියල දෙන්න ඕනේ නැහැ. මගේ පෙකනිවැල කැපුවේ පංචිකාවත්තේදී ඒ නිසා මමත් ඔය හැම දෙයක්‌ ගැනම තෙම්පරාදු වූ මිනිහෙක්‌. මේ රටේ මගී ජනතාව වෙනුවෙන් ගන්න ඕන පියවර මම ගන්නවා. සාධාරණ දේවල් සම්බන්ධව පෞද්ගලික බස්‌ සංගම් සමග ඕනෑම විටක සහයෝගයෙන් කටයුතු කරන්නත් මම සූදානම්.

ප්‍රවාහන කටයුතු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා බණ්‌ඩාරවෙල ප්‍රධාන බස්‌ නැවතුම්පළ හා සාප්පු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම නිමිත්තෙන් බණ්‌ඩාරවෙල නගර මධ්‍යයේ පැවැති රැස්‌වීමක්‌ අමතමිනි. බණ්‌ඩාරවෙල හිටපු නගරාධිපති නලින් ප්‍රියන්ත සූරියගේ මහතාගේ ආරාධනය මත ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊට සහභාගි වූ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා එසේ කීය.

මගේ අමාත්‍යාංශය යටතේ පැවැති දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ රටේ විශාල ඉඩම් ප්‍රමාණයක්‌ තිබෙනවා. කිසිම සංවර්ධනාත්මක වැඩකට යොදා ගන්නේ නැතිව මේ ඉඩම් නිකරුණේ තිබෙනවා. එම ඉඩම් වෙනත් සංවර්ධනාත්මක වැඩකට යොදාගන්න යෝජනා ඉදිරිපත් කළත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් විවිධ තර්ක ඉදිරිපත් කරමින් ඊට හරස්‌ කපනවා. ඒ තත්ත්වය මම වෙනස්‌ කරනවා.
Tell a Friend