මර්වින් දැලිපිහියෙන් කිරි කැවීමට සැරසෙයි

නෝමන් පලිහවඩන

ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක්‌ මගින් තමාට දිගට හරහට මඩ ප්‍රහාර එල්ලකරන බවත් තව දුරටත් එම පහරදීම සිදු කරන්නේනම් එම මාධ්‍ය ආයතනයේ ප්‍රධානියාට තමාගේ අතින් දැලිපිහියෙන් කිරිකෑමට සිදුවෙන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා සිය අමාත්‍යධුරයේ ඊයේ (16 වැනිදා) නිල වශයෙන් වැඩ බාරගනිම්නි පැවසීය.

ඇමැතිවරයා නිල වශයෙන් වැඩබාරගැනීම කොළඹ ධර්මපාල මාවතේ පිහිටි මහා මාර්ග අමාත්‍යාංශයේදී සිදුවිය.

මෙම අවස්‌ථාවට ඇමැතිවරයාගේ බිරිඳ, දියණිය, බෑණා, මුණුබුරා සහ ඇමැතිවරයාගේ හිතමිතුරන්, අමාත්‍යාංශ නිලධාරින් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

ඇමැතිවරයා වැඩබාර ගැනීමෙන් පසු මෙසේද පැවැසීය.

අපේ රටේ නීති හොඳයි. වැරදිකරන අයට දෙන දඬුවම් ප්‍රමාණවත් නැහැ. මගේ දැනුම හැටියට මගෙන් නම් කිසිම වරදක්‌ සිදුවෙලා නැහැ.

මගේ අමාත්‍යාංශය මගින් මහජනතාව වෙනුවෙන් ඕනෑම සේවයක්‌ සිදුකිරීමට පියවර ගන්නවා.

කවුරුහරි රජයේ නිලධාරියෙක්‌ සිය ආයතනයේදී හරිහැටි සේවයන් ඉටු කරන්නේ නැතිනම් මට නොපමාව ඒ බව දැනුම් දෙන්න.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට මට පිහිට වෙන්න පුළුවන්. ඒ ගොල්ලෝ හැම දෙනාටම පිහිට වෙනවා. උදව් කරනවා. ඒත් ඔවුනට උදව් කරන්න කවුරුත් නැහැ. මම එයාලාටත් පිහිට වෙනවා.


Tell a Friend