මහින්ද රාජපක්‍ෂ යුද අපරාධකරුවෙක්‌ බවට පත් කිරීමට ආණ්‌ඩුවේම කුමන්ත්‍රණයක්

ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකර ඇතැයි කියන ලේබලයෙන් ගැලවීමට නම් ජාත්‍යන්තරය ඒ පිළිබඳව කරන ඕනෑම පරීක්‍ෂණයකට ආණ්‌ඩුව පූර්ණ සහාය ලබාදිය යුතු යෑයි මාතර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවසීය.


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ රටේ වීරෝදාර රණවිරුවන් යුද අපරාධ සිදුකර ඇතැයි ජාත්‍යන්තරය කරන ප්‍රකාශවලට අප එකඟ නොවන බවද මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේය.

ආණ්‌ඩුව ජාත්‍යන්තර සබඳතා ඇති කරගන්නවා වෙනුවට රාජ්‍ය තාන්ත්‍රික බිඳ වැටීම් වසන් කරමින් විරුද්ධ පක්‍ෂවලට එරෙහිව විවිධ චෝදනා ඉදිරිපත් කරමින් සිටින බවත් මංගල සමරවීර මහතා ඊයේ (09 වැනිදා) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මහා බ්‍රිතාන්‍ය සංචාරයේ ලැඡ්ජාව වසා ගැනීමට එජාප පාර්ලිමේන්තු ජයලත් ජයවර්ධන සහ කරු ජයසූරිය යන මහත්වරුන්ට ජාතිද්‍රෝහී ලේබල් අලවා ඇතැයිද හෙතෙම කීවේය.

ජාතිද්‍රෝහීන් ඔඩොක්‌කුවේ තබාගෙන ඉන්නේ සහ යුද්ධය මෙහෙයවා ජයග්‍රහණය අත්කර දුන් සරත් ෆොන්සේකා මහතා සිර ගෙදරට යෑව්වේ කවුරුන්ද යන එක අද මුළු රටම දන්නා බවත් මංගල සමරවීර මහතා පැවසීය.

ආණ්‌ඩුවේ ළිං ගෙම්බන්ගෙන් උපදෙස්‌ ගෙන කටයුතු කළ හොත් මහින්ද රාජපක්‍ෂ මහතා යුද අපරාධකරුවෙක්‌ බවට ජාත්‍යන්තරය නම් කිරීම වළක්‌වන්න බැරි බවත්, රටේ හා ජනපතිගේ කීර්තිනාමය රැක ගන්න නම් පිළිගත් ඕනෑම පරීක්‍ෂණයකට සහාය දිය යුතු බව හෙතෙම කීවේය.

මහින්ද රාජපක්‍ෂ මහතා යුද අපරාධකරුවෙක්‌ බවට පත් කිරීමට ආණ්‌ඩුවේම කුමන්ත්‍රණයක්‌ දියත් වෙන බවට සැකයක්‌ මතුව ඇති බවත් එතුමා ජාත්‍යන්තර උසාවිය ඉදිරියට යැම වැළැක්‌වීමට කටයුතු කිරීම අපගේත් ආණ්‌ඩුවේත් අපේක්‍ෂාව විය යුතු බවත් මංගල සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය. Tell a Friend