කතු වැකිය: අපට අයිතියක් තිබේද?


මානව හිමකම් දිනය අදයි!


ජගත් මානව හිම්කම් දිනය අදට දී තිබේ. මානවයාගේ හිමිකම් සහතික කිරීම සඳහා වරින් වර විවිධ ආකාරයේ උත්සව පැවැත්වීමට අපි මෑතක සිට පුරුදු වී සිටින්නෙමු. ඒවායින් කුමක් සිදු වුවද මානව හිමිකම් උල්ලංඝනය වීම අකණ්ඩව ලොව පුරා සිදු වේ. ඊට සීමා මායිම් නැත. පාලනය සඳහා එකිනෙකා තනාගෙන ඇති පරාමිතීන් තුළින් අහිංසක ජනතාවගේ ජීවිත වලට එල්ල වී ඇති තරජනයේ පරිමාණය මෙතෙක් යැයි කිව නොහැකිය.

මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම තැනකම සිදු වන පොදු සිදුවීමක් වී තිබේ. ඇතැම් විටක ලෝකය පාලනය කිරීම දෙවියන් විසින් යැයි පිළිගන්නා අතර, තවත් විටක තාක්‍ෂණය විසින් යැයිද කියති. මේ අතර තවත් පිරිසක් කියනු ලබන්නේ එක් එක් රටවල ක්‍රියාත්මක වන බුද්ධි අංශ වලින් එය සිදු වන බවයි. කෙසේ වෙතත් මේ සියලුම සාකච්චා තුළ මතු වන මුලික කාරණයක් වන්නේ "පාලනය" නමැති විධික්‍රමය විසින් සියලු දෑ හැඩ ගස්වා ඇති ආකාරයයි.

අපට අපේ තත්වය වටහා ගැනීමට ලෝකයේ නිදසුන් වලට යා යුත්තේ නැත. එය ලංකාව තුළින් එනම් එහි ඉතිහාසයටද නොගොස් පසු ගිය සති කිහිපයේදී සිදු වූ දේශපාලන කල කෝලාහලවලින් අවබෝධ කර ගත හැකිය. රටේ රාජ්‍ය නායකයෙකු සමස්ත රටටම බොරු කියා මහජන මුදල් නාස්ති කරමින් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය තනා ගැනීම සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයක් පැවැත්වීමට හැකි යැයි එක්තරා කුඩා කණ්ඩායමක් විසින් කොට තිබු ආරාධනයට අනුව එහි ගොස් මෙරටට පැමිණියේ තමන් දේශපාලනික වශයෙන් බෙලහීනයෙකු ලෙස පත් වීමෙනි. ඉන් පසු එය සිදු වූයේ කොටි සංවිධනයට හිතවාදී නිසා බව පවසමින් කොළඹදී උත්සවශ්‍රියෙන් සමරණු ලැබුවේ පරාජයද ජයග්‍රහණයද යන්න කිසිවෙකුටත් සිතා ගැනීමට නොහැකිවය. ඇතැම් විටක එය ඔහු මහා කිරිබතට පසු වාර්තා කළ තවත් ගිනිස් වාර්තාවක් විය හැකිය.

එහිදී තමන්ට කතා කිරීමේ අයිතිය අහිමි කිරීම ගැන කතා කළ ජනාධිපති රාජපක්ෂ එය තමන් විසින් ලංකවේ කෙළසා ඇත්තේ කෙසේදැයි සිහිනයකින්දු සිතන්නේ නැත. රාජපක්ෂගේ පාලන විධික්‍රමය තුළ ඇත්තේ කුමන හෝ මායාවකින් රට මත් කොට ප්‍රයෝගික තලයේ මුහුණ දෙන එදිනෙදා ගැටලූ වලින් ඉවත් වෙමින් තමන්ගේ මඩිය තර කර ගැනීමයි.මෙය අවස්ථාවක් කරගෙන රාජපක්ෂ වීරයෙක් කොට ඉන් තමන්ගේ මඩිය තර කර ගන්නා පිරිස්ද අඩු නැත. දේශපාලනික වශයෙන් ලංකාවේ ඇති බිඳ වැටීම තුළින් පෙනී යන්නේ සමස්තයක් ලෙස රටේ පරිහානියයි.

මානව හිමිකම් දිනය සමරණ අද වැනි දිනක අපට ඉල්ලා සිටිය හැකි විශාල දේවල් නොමැත. පාලනය කරන වුන්ට මෙකි කුඩා ඉල්ලීම් කළ නොහැකි දේවල්ද නොවේ. ඒයා වූ කලි පොලිසියේ ස්වාධීනත්වය සහ අධිකරණයේ ස්වාදීනත්වයයි. මෙම ආයතන දෙකට කිසිවෙකුගේ බලපෑමකින් තොරව තහවුරු කර ගත් සත්‍ය මත පදනම් වී තීරණයක් ගැනීමට හැකි වට පිටාවක් හෙවත් කොන්දක් සකස් වන තෙක් ලංකවේ මානව අයිතියක් ගැන සිහිනයකින් වත් සිතිය නොහැකිය. ඒවැනි වටපිටාවක් හමුවේ ලෝකයට තමන්ගේ අණුවනකම් ප්‍රදර්ශනය කරන දෑ මිස වෙනත් කිසිවක් බලා පොරොත්තු විය නොහැකිය.

Tell a Friend