ශ්‍රී ලාංකික ඒකාධිපතිවාදයේ පරාමිතීන්


සුනාලී රත්නායක


"   සියල්ලන් හට සමානව ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින්නා වූ නීතියක් පෙරදැරි කොට ගත් සමාජීය ක‍්‍රමයක් රටක නොපවතින කළ එම රට තුළ වෙසෙන බහුතරයක් වූ සාමාන්‍ය ජනයා නොදැනුවත්වම නැඹුරු වන්නේ පිළිගත හැකි ශිෂ්ටාචාරයක් තුළ සිදු නොවිය යුතු, සිදු නොකළ යුතු කිසිවකු විසින් අත් විඳිය යුතු නොවන අස්වාභාවික මෙන්ම භයංකර ක‍්‍රියා කලාපයන් අන්ධ භක්තියෙන් යුතුව වැළඳ ගැනීම කෙරෙහිය. ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය නිවසකට ගොඩනොවුණ කිසිවකු මා මේ ප‍්‍රකාශ කිරීමට තැත් කරන දෑ හුදෙක් අතිශෝක්තියක් යැයි සිතීමට පවා ඉඩ ප‍්‍රස්ථාව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් සත්‍ය තාවකාලික දෘෂ්ටි මායාවන්ගෙන් වසන් කළ නොහැකිය."

################

ලෝක ඉතිහාසය යම්තාක් දුරටකට හෝ සැලකිල්ලට භාජනය කළ විට ඒකාධිපතිවාදය යනු විටින් විට හිස ඔසවා මුළු මහත් සමාජ කොට්ඨාශයන් අනේක විධ අයුරින් ඉමහත් කම්පාවටත් භිතියටත් පත් කොට මෙම වේදනාකාරි අමිහිරි රළු මතක සටහන් පරම්පරා ගණනාවක් පසුවන තුරුත් නොමැකෙන සේ ඉදිරියට සනිටුහන් කොට අවසානයේ අනේක විධ අයුරින් විනාශ මුඛය කරා ගියා වු ක‍්‍රම වේදයකි.

එය මුළු මහත් ලෝකවාසී ජනතාවටම ජාති, ආගම්, කුල වර්ණ භේදයකින් තොරව පොදුවේ හඳුනා ගත හැකි වූ ක්‍රමවේදයක් වුවද ඒ නිසා තැලි පෙලී පීඩා විඳින්නවුන් හට සහ තවමත් පීඩා විඳිමින් සිටින වුන් හට එහි අර්ථය ඊට හාත්පසින්ම වෙනස් වනු නොවනුමානය. ඔවුනට එය හුදෙක් වචනයකට වඩා බෙහෙවින් ඔබ්බට ගියා වූ යහමින් අවබෝධ වූ සත්‍යතාවයකි. එවැන්නවුන් ඒකාධිපතිවාදයේ කෙළවර දැකීමට නොකරන්නා වු කැපකිරීමක් ද නොමැත. අද වන විට යළි යළිත් විවිධාකාරයෙන් හිස ඔසවන්නා වූ ඒකාධිපතිවාදය නමැති තුච්ච පාලන ක‍්‍රමයේ කෙළවර දැකීම උදෙසා වර්තමානයේදී කිසිදු පැකිලීමකින් තොරව තම වටිනා ජීවිත පවා පරදුවට තබා දිවි හිමියෙන් කටයුතු කළ පිටකොන්දක් සහිත සැබෑ මිනිසුන් යම් තාක් දුරකට සිටියා වු සහ සිටින්නා වූ වටිනා භූමියක උපත ලැබීමට හැකි වීම ගැන මා සැබවින්ම භාග්‍යයක් කොට සලකමි. එය එසේ වුවද මා අභාග්‍යයක් කොට සලකන්නේ මෑතක සිට යළිත් හිස ඔසවමින් පවතින්නා වූ මේ ඒකාධිපතිවියරුව හේතු කොට සිදු වු සහ සිදු වෙමින් පවතින භයංකාර අපරාධවල සීමාව ඉක්මවා යමින් පවතින ආකාරය දැකීමෙනි.

එපමණක් ද නොව, ඊට එරෙහිව නැඟී සිටීමට තැත් කරන්නා වු සියලූම බලවේගයන් අනුන්ගේ ජීවිත පවා තමන්ගේ ග‍්‍රහණයට හසු කර ගෙන සිටින ඒකාධිපතිවියරුව නමැති සුව කළ නොහැකි ඒ භයානක මානසිකත්වයෙන් පෙළෙන්නවුන් විසින් අමු අමුවේ ඝාතනය කොට මහ පොළොවට සමතලා කරුනු දැකීම මහත් කම්පනයට හේතු වේ. එහෙත් මේ සියල්ලේ අවසානය ඒකාධිපතියෙකුගේ වැජඹීම කෙලවර විය නොහැකි බව මාගේ පරම විශ්වාසයයි. මා මීට ඉහතින් සඳහන් කළ ඒකාධිපතිවාදය රජයන්ට පාවඩ අතුරන අධම මිනිසුන් කොටසකුත් එම ඒකාධිපතිවාදය මැඬලන්න වෙර දරන වාසනාවකට මෙන් තවමත් ජිවතුන් අතර සිටින යහපත් මිනිසුන් කොටසකුත් සිටිති. කෙසේ වුවද බලයේ වැඩි බලපෑම මත දිනෙන් දින අගාධය කරා තල්ලූ වෙමින් පවතින අතිසුන්දර වූ යහපත් රට අන් කවරක්වත් නොව වරෙක පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය ලද වර්තමානයේ එවැනි විරුදාවලියක් තබන්නට තබා ඊට කිට්ටු වන්නටවත් අපොහොසත් වී ඇත.

ඒකාධිපතිවාදය ලංකාවට අනුව තේරුම් ගැනීම

ඒකාධිපතිවාදයට සරල අර්ථකතනයක් දෙතහොත් එය පීඩාකාරී නොහොත් බහුතරය තලා පෙළා දමමින් අයුතු ලෙස කටයුතු කරන්නා වු ආණ්ඩු ක‍්‍රමයක් සේ සැලකිය හැකිය. සැබවින්ම එය සිදුවීමට ඉඩ ප‍්‍රස්ථාව ඇත්තේ රජයක්, ආණ්ඩුවක් හෝ පාලන ක‍්‍රමයක් තුළ පුද්ගලයෙකු විසින් සමස්තයකට පිළිගත නොහැකි සමස්තයකට නොගැලපෙන කෲර භයංකර තුච්ච පාලනයක් ක‍්‍රියාත්මක කිරීම හෝ එවැන්නක් උදෙසා සිය අනසක පැතිර වීමෙන්ය. තවද මෙය ආණ්ඩුවක අන්තර්ගතය වන කිහිප දෙනෙකු විසින් ගොඩනගන්නා වූ අධම පාලනයක් ලෙසද තේරුම් ගත හැකිය. වර්තමාන ශ‍්‍රී ලංකාවේද පෙළගැසෙන දේශපාලන ප්‍රවණතා තුළින් ප්‍රදර්ශනය වන්නේ සේම ක‍්‍රියාත්මක වනු දක්නට ලැබෙන්නේ ඊට බොහෝ සෙයින් සමාන ලක්‍ෂණ පෙන්නුම් කරන්නා වූ පාලන ක‍්‍රමවේදයකි. ඊට අවශ්‍ය පරිසරය සහ මූල්‍යමය සිද්ධාන්තද නීති මාලාවන් ද තමාගේ, තම පවුලේ නැදෑ හිතවතුන්ගේ ඕනෑ එපා කම් අනුව තමාටම අවශ්‍ය අයුරින් සකසා ගැනීමට තරම් සමත් ප‍්‍රයෝගකාරී නායකයෙකු ද අප හට සාධාරණ හෝ අසාධාරණ ජනාධිපතිවරණයක් හරහා තේරී පත් වී සිටීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාධාරණය සහ යහ පාලනය අගයන්නන්ගේ ඉමහත් කම්පාවට හේතු වී ඇත.

වර්තමාන ශ‍්‍රී ලංකාව තුළ බලපවත්වන පාලන ක‍්‍රමය තුළින් විදහා පාන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද ඔහුගේ බලපුළුවන්කාර සොහොයුරන් වන ආරක්‍ෂක ලේකම් ගෝඨාභයද ආර්ථික සංවර්ධන ඇමති බැසිල් යන්නවුන්ද යහපාලනය තබා දේශපාලනයේ පවතී යුතු මුලිකන්ගයන් ඝාතනය කොට කටයුතු කරන ආකාරයය. මීට මාස කිහිපයකට ඉහතදී ලාංකේය පාර්ලිමේන්තුවට පා තැබූ මහින්දගේ වැඩිමහල් පුත‍්‍ර නාමල් ද පාර්ලිමේන්තුවේ කථානායක ලෙස කටයුතු කරන චමල් ද එකී මෙකී නොකී එහෙත් යමෙකු තුළ විස්මය කැටිවූ හාස්‍යද උපදවන තරම් අසාමාන්‍ය අන්දමින් සැලකිය යුතු විශාල සංඛ්‍යාවකින් සිය නැදෑ හිතමිතුරු සමුදායක් රට තුළත් ඉන් පිටතත් වත්මන් ආණ්ඩුවට ඍජුවම සබඳතා පවත්වන්නා වූ සහ වගකිව යුතු අසුන් මත ඉඳවූ බැලූ බැල්මට දෝෂයෙන් පිරිපුන් උන්මත්තක පාලන ක්‍රමයක් අපි අභිමුකව පහල වී ඇත. මේ පාලන ක‍්‍රමයට තවමත් ඒකාධිපති ලේබලය නිල මට්ටමින් ඇලවී නොමැති වුවද දිනෙන් දින රට තුළ සිදුවන අයහපත් ක‍්‍රියාදාමයන් මෙම රාජපක්‍ෂ පවුලේ අධම නින්දිත කල්ක‍්‍රියාවන්ට ආවඩන්නවුන්ට පමණක් සුව සේ ජීවත් විය හැකි පරිසරයක් තනමින් ඊට අවශ්‍ය වටපිටාව, යටිතල පහසුකම් මෙන්ම මූලධර්ම සහ සිද්ධාන්ත නිර්මාණය කරමින් ඒවා ගොඩනගමින් නිරතුරුව ඒවා ශක්තිමත් කරමින් ඔවුනට ඉහළින් ඉගිලෙන මැස්සකු පවා ගල් ගසා මරා දැමීමට තරම් නින්දිත තත්ත්වයකට අවුරුදු 05ක් වු සුළු කාලපරිච්ෙඡ්දයක් තුළ ඊට හැකි විය. වියරු ආණ්ඩුවක් සහ ඊටම ඔබින නායකයකු පෙරදැරි කර ගත් දේශපාලනකයින්යැයි කියා ගන්නා සේවකයින් ගස් බඳිනවුන්ගෙන් ද හෙබි බලයෙන් ගිලිණු උන්මත්තකයින් රැළක් ගෙන යන මෙම පාලන ක‍්‍රමයට ඒකාධිපතිවාදය හෝ කල්ලිවාදය යන පදයන් කෙතරම් උචිත දැයි මේ දෙස මධ්‍යස්ථව පිටතින් බලා සිටින ඕනෑම ස්වාධීන මත දරන්නෙකුහට පවා හැඟී යනු නොවනු මානය.

රාජපක්ෂ මහජන මුදල් ගසා කමින් දේවත්වය ආරූඪ කර ගැනීම

කෙසේ වෙතත් වඩාත් කනස්සල්නට හේතු වන්නේ රටේ එක් පාර්ශ්වයක් අන්ධ භක්තියකයන් ලෙස තබා ගණ අඳුරේ ගිල්වා ශ‍්‍රී ලංකාවේ හද්ද පිටිසර ගම්මානවල දිවි ගෙවන අසරණ ජනයා සත්‍යයෙන් වසන් කොට ඔවුන්ගේම හෘද සාක්‍ෂියේ අනුදැමෙන් තොරව එහෙත් ඔවුහු ලවාම තමාට ආවඩා ගන්නා නින්දිත නායකයෙකු වන මහින්ද ගෙන යන මෙම අසාමාන්‍ය පොදුවේ පිළිගත නොහැකි දේශපාලන දැක්ම තුළින් දිනෙන් දින වඩ වඩාත් පීඩා විඳිනුයේ අන් කවරෙකුවත් නොව එවැනි ඒකාධිපති පාලකියින්ගේ තරම නොදැන ඔවුන්ගේ සැබෑ වත නොදැක ඡුන්ද ගුණ්ඩු ලෙසින් පිටතින් ඇලවූ තාවතාලික පැලැස්තරවලින් රැවටී තමාගේ වටිනා මනාපයෙන් මෙන්ම අයිතියෙන් රටේ වගකිව යුතු වේදිකාවන් කරා මෙවැනි නුසුදුසු අධම දේශපාලඥයින් කැඳවා සපැමිණි අහිසංක මහජනතාවම පමණක් වීම තේරුම් ගත යුතු පරම සත්‍ය වේ. එනම් මෙම සත්‍යයම නීතිය සදාචාරය සහ යහපාලනය අගයන්නවුන්ගේ කණස්සල්ල දෙගුණ තෙගුණ කිරීමට නිසැකවම හේතු වනු ඇත. ලංකාවට සිදු වී ඇත්තේ එයයි. මීට ඉතාමත්ම කදිම නිදසුනක් ඊට සති කිහිපයකට පෙර ජනාධිපති වෙසෙන අරලිගය මැඳුරට නුදුරින් පිහිටි ගාලූ පාර දෙසින් මනාව දිස්වන්නට විය. එය වූ කලී මහින්දගේ 65 වන උපන් දිනයත්, දෙවැනි පදවි ප‍්‍රාප්තියත් නිමිති කොට ගෙන නොවැම්බර් මස 15 සිට 22 දක්වා සතියක පමණ කාලයක් සැනකෙළියක අසිරි මවා පාමින් ලංකාවේ ප‍්‍රධාන නගරවල හන්දියක් හන්දියක් වටා සිදු කළ මවා පෑමයි.

ඉන් හඟවන්නට තැත් කළේ මහජන මුදල් ආයථා ලෙස කෙලසමින් නිර්මාණය කර ගැනීමට ගිය ප‍්‍රතිරූපයක ව්‍යාජයයි. නොවැම්බර් මස 19 වැනි දින හමුදා ආචාර පෙළපාලිද එකතුව ආචාර වෙඩි මුර 21කින් ද තවත් අනේක විධ වූ වර්ණවත් සැනකෙළි ජවනිකා ද සහිතව යමෙකු තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුමක හෝ පෞද්ගලික බූදලය දිග හරිමින් වියදම් කරන්නාක් මෙන් කිසිදු චකිතයකින් පැකිලීමකින් හෝ බියකින් තොරව යහමින් අතදිගු කොට සිදු කළ මහා මුදල් නාස්තියට හෙවත් දුෂ්ට පරිහානි කටයුත්තට සාමාන්‍ය ජනයාද බලෙන් සහභාගී කරවා ගැනීමට මහින්ද අමතක නොකළේය. එනම්, එදින කොළඹ ජනාධිපති ලේකම්කාර්යාලයේදී පැවැත්වූ අති උත්කර්ෂවත් උත්සවය නොහොත් මොහෝනයෙන් පිරි රඟ දැක්වීම උදෙසා මහජනයා පලිහක් ලෙස භාවිත කිරීමය. ඒ සඳහා සාමාන්‍ය ජනතාව රැස් කොට තිබුණේ රූපවාහිනී නාලිකා මෙන්ම රජයේ පුවත්පත්වල පළ කොට තව තවත් ජනතාව මුලාවට පත් කිරීමටය. නමුත් වර්තමානයේදී යම් තාක් දුරකට සාර්ථක වන්නා වූ එම චේතනාවන් මුදුන් පත් කරවා ගැනීම සඳහා සිදු කළ යුතු ප‍්‍රදර්ශනවලින් කියා පාන්නේ පරම නින්දිත අභිලාසය සපුරා ගැනීමේ වියරු වූ අසාමාන්‍ය ආශාවන් පමණි. මෙහිදී මහින්ද සහ ඔහුගේ උපදේශකයින් විඥක්ශණශීලී වූයේ නම් තම පටු චේතනාවන් වඩ වඩාත් නින්දිත අයුරින් මුදුන් පත් කරවා ගැනීමට නොගොස් පවතින සැබෑ ගැටලූ වෙනුවෙන් අවධානය යොමු කරනු ඇත. නමුත් මහින්ද පවතින සබැ ප්‍රශ්න අමතක කිරීම සඳහා මෙලෙස සමස්ත ජනතාව ගොනාට ඇන්දවීමට උත්සහ ගැනීමත් තමන්ගේ දිවි බේරා ගැනීම සඳහා අහිංසක දෙමළ ජනතාව පලිහක් ලෙස තබාගත් වේලුපිල්ලේ ප්‍රභාකරනුත් අතර කිසිඳු වෙනසක් නොමැත. මොවුහු දෙදෙනාටම ජනතාව වූ කලි පලිහක් හෙවත් විෂයක් පමණි. පාලකයා රැවටිලිකාර උනමන්තකයෙකු වූ විට ඔවුගේ අසාමාන්‍ය ආශාවන් ඉටු වන්නේ මහජනතාව සත්‍යයෙන් ඈත් කර තැබීමෙනි. එනම් පුරවැසියා විෂයක් බවට පත් කිරීමෙනි.

රාජපක්ෂගේ ජන්මෙන් ලැබුණු පුරුද්ද හෙවත් රැවටිලිකාරයකුගේ භූමිකාව

එනම්, බස් රථවලින් කොළඹට අදින ලද ජනතාව ගෙන්වා තිබුණේ ගම්මානවල කිසිදු පහසුකමක් නැති වූ අති දුෂ්කර ප‍්‍රදේශවලිනි. මන්ද නගරබදව සිටින ජනතාව රැවටීම මදක් දුෂ්කර කාර්යක් වන හෙයිනි. එකී අබූත උත්සවය උදෙසා කොළඹට ගාල් කොට තිබු අහිංසක ගැමි ජනතාව තමා එනවාද යනවාද යන්න තරම්වත් දැනුමකින් තොර වු පිරිසක් වූහ. එසේම මොවුන්ට රටේ සිදුවන ඇත්ත වසා දමා ඇති පරිසරයක් සකස් කොට ඇත. එය මහින්ද ඇතුළු පඳුරක් පඳුරක් පාසා පත් කොට ඇති මහජන මුදලින් සුඛ විහරණයේ යෙදෙන්නා වූ උපදේශකයින් මෙන්ම සංවිධායකයින් යන නාම පදවිවලින් තමා හඳුන්වා ගන්නා පිරිස විසින් මනාව සිතා මතා ගන්නා ලද තීරණයකි. එනම්, ඔවුහු මෙම රැවටීම උදෙසා තෝරා ගත්තේ රැවටීමට ඉතා පහසු අහිසංකයින් පමණි. මහින්දගේ කෙළවරක් නොමැති උන්මාදනීය ආශාවන් ඔපවත් කරමින් සපුරා ලීමට දායක වීම උදෙසා ගාලූ පාර දෙපස ගිනි මද්දහනේ තමා මහා පාරේ අමු අමුවේ පතිත වූ දැඩි සූර්ය කිරණ ඉවසමින් පාන් කියා ගත නොහැකිව සිටි මෙම අහිංසක ජනයා පසුව කියා සිටියේ මෙලෙසය. ‘අනේ නෝන මහත්තයෝ, අපිව ගමට ගෙනියන බස් එක දැන් එනවාද, අපව උදේ පාන්දරින් ගමේ ඉදන් කොළඹට ගෙනාවා. දැන් ටිකකට මත්තෙන් දහ දෙනා ගානේ හමුදාවෙන් අපව අතපත ගා ජනාධිපතිතුමා වැළඳ ගන්න අරන් ගියා, පින්තූර ගන්න. පාන්දරින් අපිව කොළඹට ගෙනාපු සමහර බස් පැදෙව්වේ හමුදාවේ ළමයි. දැන් නම් පාන් කියා ගන්නත් බැහැ. අපිව පැය ගාණක් ගිණිකාස්ටකේ පාරේ හිටවලා තියෙනවා නෝනා මහත්තයෝ, අපව ගමට ගෙනියන්න දැන් බස් එකක් එනවද?’ මෙලෙස තමන්ගේ හදවතේ ඇති වේදනාව වචනවලට පෙරලූවේ වෙන කිසිවකු නොවේ මහින්ද කියන හැටියට මහජන නායකයාගේ පුටුව තර කරන අහිංසකයින් පිරිසකි. එදිනෙදා ජිවිතයේදී ද අනන්ත අපමණ දුක් ගැහැට විඳින මෙම අහිසංක මිනිසුන් තමා මහරාජා යැයි කියා ගැනීමට උත්සුක වූද අප‍්‍රමාණ වූ උත්සාහයක නිරත වූද ව්‍යාජ රජෙකුගේ හා ඥාති මිතුරු කැලකගේ සුව කළ නොහැකි මානසික ආබාධ හේතුවෙන් ඔවුහු තුළ ජනිත වූ පුහු ආටෝපයන් භුක්ති විඳීම සඳහා මහජන මුදලින් කෝටි ගණනින් වැය කොට එකී ආශාවන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා මෙවන් ඛේදජනක විහිළු වැඩසටහන්වලට අඩු දැනුමක් සහිත ජනතාව මුලාවට ලක් කිරීම පුදුමයක් නොවේ.

මහින්දගේ ලෝකය තුළ මහින්ද නිරුවත් වීම

මහින්ද දකින ආසියාවේ ආශ්චර්ය වන්නේ එයයි. මැනවින් හුස්මක් ගෙන තාවකාලික වු පටු ලාභ ප‍්‍රයෝජන තකන මෙම ඒකාධිපති වියරුවෙන් පෙළෙන උන්මන්තක ආණ්ඩුවට ආ නොවඩන ඍජු කොඳු ඇට පෙළක් සහිත වූ අල්ප තර වූ පිරිස යථාර්ථය හමුවේ කිසිදා මුලා නොවනු ඇත. මොවුන් අතරින් ප‍්‍රතිපත්ති ප‍්‍රමුඛස්ථානයෙහිලා සලකමින් දිවි ගෙවන්නවුන් තාවකාලික පැලැස්තර අලවා මුලා කිරීමට උත්සාහ කිරීම පවා විහිළුවකි. එහෙත් එය කිසිදා නොවනු ඇත. නමුත් විළිලැජ්ජා නැති කම මහමුදලිකමටත් වඩා ලොකු වු පිරිසක්ද අප අතරම සිටිති. ඇතැම් කලාකරුවන් ද විද්වතුන් ද අනේක විධ වූ ක්‍ෂේත‍්‍රයන්හි දස්කම් විස්කම් පෑ උගතුන් මෙන්ම හැකියාවෙන් පිරිපුන් පිරිසක් ද මෙම ඉහත කී වැලිලැජ්ජා නැති පිරිස අතරට ඒකරාශී වීම සැබවින්ම දුකටද පිළිකුලටද හේතුවීම නොවනු මානය.

ඔවුන්ගේ මෙම විලිලැජ්ජ නැතිකම වැසීම සඳහා දේශපේ‍්‍රමය නැමති ලේබලය සෑම අස්සක් මුල්ලක් නෑරම අලවා ගෙන වර්තමාන ඒකාධිපති වියරුව ආණ්ඩුවට මුක්කු ගසා සිටිති. ඒ කිසිවක් නිසා නොව ලෞකික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට සහ සුරක්‍ෂිත කර ගැනීම සඳහා පමණි. ඛේදවාචකය වන්නේ ඇතැම් මාධ්‍යවේදීන් ද මොවුන් අතර සිටීමයි. මේ සියලූ දෙනා හට අමතක වූ හෝ තාවකාලිකව මඟහරින්නා වූ කරුණක් තිබේ. ඒ වූ කලී වර්තමාන ලංකාවේ ආණ්ඩුවත් එහි කොටස් කරුවනුත් වන අප‍්‍රසන්න වූ වියරුවකින් පෙළෙන දේශපානඥයින් වටා දැවටෙමින් තම මඬිය තර කර ගනිමින් සිටින මෙම ප‍්‍රයෝගකාරී නින්දිත පිරිස දැන දැනත් එහි කෑදර කම නිසා තම තමන් විසින් වැටී ඇත්තේ කිසිදා ගොඩ ඒමට නොහැකි අන්ධකාරයක බව අමතක කර ඇත්තේ දේශපේ‍්‍රමී නමැති වචනය පෙරට දමමිනි. සකල විශ්ව නීතිය හමුවේ මේ සියලූ විලිලැජ්ජාව ගිලිහී ගිය වුන් අන්ත පරාජිතයෝ වෙති. ඔවුහු අශෝභන ලෙස මේ මොහොතේ දී බලයෙන් ගිලිණු දේශපාලන සොරුන් සමග බද්ද වී තර කර ගන්නා මඬිවල පැවැත්ම තාවකාලික වන බව ඔවුහු නොදනිති. එනම්, මෙවැනි කකුළුවන් ජල කෙලි පාන්නේ නටන වතුරේ බව ඇතැම් විට කකුළුවන්ම නොදන්නවා වන්නට පුළුවන. එසේ නොවේ නම් කකුළුවන්ට මෙම සත්‍යතාවය මදකට මතකයෙන් ගිලිහී තිබෙනවා වන්නට ද පුළුවන.

විලිලජ්ජාව නමැති නිරුවත වහන දේශප්‍රේමී ලේබලය

ඒ කෙසේ වුවද රට තුළ මේ වන විටත් රඟ දැක්වෙමින් පවතින නරි නාටයකය මෙන්ම ඉන් අයථා අයුරින් සිදුවන ජනතා ධනස්කන්ධය විනාශය, මොවුහු තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නම් වටින්නේය. මෑතකදී හට ගත් ඛේදනීය ගංවතුරෙන් අනාථ වූවන් පිළිසරණක් නොමැතිව ජිවන අරගලයේ අඳුරු ආගාධයන්හි පතුලටම වැටී සිටින බව මෙම උන්මන්තක නායකයා ඇතුළු පාලකයන්ට පයිසයකටවත් නොවටින්නේය.

මෙලෙස කෝටි ගණනින් මහජන මුදල් පුළුස්සමින් රට පුරා බලි තොවිල් නටන්නේ මහින්දගේ උමතු රෝග නිවාරණය සඳහා විය හැකිය. යුද්දය අවසන් වී වසර 1 1/2කට අධික කාලයක් ගත වී තිබුණද මෙම උමතු රෝගයෙන් සුවයක් හෝ නිවාරණයක් ආසන්නයේ නොපෙනෙන්නේ ය. ඒ වෙනුවට සිදු වන්නේ රට තව තවත් අගාධයට තල්ලූ වන අදාළ බලි තොවිල් නැටීමේ අර්ථ ශූන්‍යයම නොවන්නේද?

සියල්ලන් හට සමානව ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින්නා වූ නීතියක් පෙරදැරි කොට ගත් සමාජීය ක‍්‍රමයක් රටක නොපවතින කළ එම රට තුළ වෙසෙන බහුතරයක් වූ සාමාන්‍ය ජනයා නොදැනුවත්වම නැඹුරු වන්නේ පිළිගත හැකි ශිෂ්ටාචාරයක් තුළ සිදු නොවිය යුතු, සිදු නොකළ යුතු කිසිවකු විසින් අත් විඳිය යුතු නොවන අස්වාභාවික මෙන්ම භයංකර ක‍්‍රියා කලාපයන් අන්ධ භක්තියෙන් යුතුව වැළඳ ගැනීම කෙරෙහිය. ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය නිවසකට ගොඩනොවුණ කිසිවකු මා මේ ප‍්‍රකාශ කිරීමට තැත් කරන දෑ හුදෙක් අතිශෝක්තියක් යැයි සිතීමට පවා ඉඩ ප‍්‍රස්ථාව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් සත්‍ය තාවකාලික දෘෂ්ටි මායාවන්ගෙන් වසන් කළ නොහැකිය. මුළු ජීවිත කාලයම පාහේ මාගේ මාතෘ භූමිය වන ශ‍්‍රී ලංකාව තුළ ගත කොට එහි ඉපිද උස් - පහත් - මධ්‍යස්ථ එකී මෙකී නොකී සියලූ සමාජයන්හි ස්ථරවල දැවෙමින් ස්වකීය ජීවන ගමණ ගෙනියන මහජනයා අතර ගැවසීමට භාග්‍යයක් ලද මා හට පැහැදිලිව දක්නට ලැබුණු මෙන්ම අවබෝධ වූ කරුණක් නම් සාමාන්‍ය පවුලක ගැහැනියක හෝ පිරිමියෙකු එදා වේල ගැට ගසා ගැනීමට වෙර දරන ආකාරයයි.රාජපක්ෂ හිතාමතාම තමන්ගේ සපත්තුවෙන් පාගමින් සිටින්නේ එකී අසරණයින්ගේ බොටුවයි. එසේම රාජපක්ෂ අමුර්තය ලෙස සිතා භුක්ති විඳිමින් සිටින්නේ එකී අසරණයින්ගේ බොටු පුපුරා ගලන රුහිරයයි.

මහින්ද චින්තනය හෙවත් නිට්ඨාවට සුව කළ නොහැකි රෝගය

වර්තමාන ශ‍්‍රී ලංකාවේ ඉහතින් සඳහන් කළ මෙම සත්‍යය වඩාත් භයංකර මෙන්ම ශෝචනීය අතට හැරෙමින් පවතින පව නොරහසකි. එය ආගම්, කුල, පන්ති පක්‍ෂ පාට භේදයකින් තොරව පංචේන්ද්‍රීයන් සහිත වූ හැඟීම් දැනීම් නිසියාකාරව ක‍්‍රියාත්මක වන ඕනෑම පුරවැසියෙකු හට අවබෝධ විය යුතුය. මෙසේ දුගී දුප්පත්කමින් පීඩා විඳින අසරණ වූ ජනතාවක් වෙසෙන්නේ ඔවුන්ගේ සුබ සිද්ධිය සඳහා කැප විය යුතු මුදලින් මෙන්ම ශ‍්‍රමයෙන් සහ සම්පත්වලින්ම උමතු ආශාවන් සපුරා ගැනීමේ අප‍්‍රසන්න රෝගයකින් පීඩා විඳින තත්ත්වයෙන් බාල මානසිකත්වයක් හෙබි ඒකාධිපතිවරයෙකු සහ ඔහු වටා ඒකරාශී වී සිටින දේශයට සාපයම උරුම කර දෙන්නට සමත්ව සිටින දේශපානලඥයින් යැයි කියා ගන්නා කොටසක් ද මේ දෙපාර්ශ්වයටම වැඳ නමස්කාර කරන කලාකරුවන්, විද්වතුන්, ක‍්‍රීඩකයින්, පැවිද්දන්, මාධ්‍යවේදීන් සහ තවත් අනේකවිධ තත්වයන්හි නියැලෙන්නා වු විළිලැජ්ජාවෙන් තොරව වු පිරිසක් ද ජීවත්වන රටේමය.

දුගී දුප්පත්කමින් සහ අනේක විධ සමාජමය ප‍්‍රශ්නවලින් පීඩා විඳින මහජනයාද අපේම රටේ සියලූ මානුෂීය සහ සමාජමය අයිතීන්වලට උපතින්ම හිමිකම් කියන්නවුන් බව අමතක නොකළ යුතු කාරණයකි. එහෙත් සැබෑ ජීවිතයේදී ඔවුහු අසරණය. නමුත් අවාසනාවකට රටේ නායකයා වන මහින්ද තමන්ගේ 65 වන ජන්ම දිනයද, දෙවන පදවි ප‍්‍රාප්තියද, මහින්ද රාජපක්‍ෂ "ජාත්‍යන්තර" වරාය නමින් දෙවැනි වරටත් විවෘත කළ හම්බන්තොට වරායද වැනි සංවිධානාත්මකව වැදගම්මකට නැති අවස්ථාවන් අයුතු මෙන්ම සීමාව ඉක්මවා ගියා වූ අතිඋත්කර්ෂවත් අන්දමින් සැමරීම සඳහා රටේ මහජන මුදල් මැදමුලනේ තමාගේ නිවසේ පෙට්ටගමින් ආ මුදල් මෙන් කෝටි ගණනින් පුළුස්සා දමන අවස්ථාවක මෙරට සාමාන්‍ය ජනයා හට ඔවුන්ගේ ඊළඟ වේල පිරිමසා ගන්නේ කෙසේද යන්නත්, තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරාන්නේ කෙසේදැයි කල්පනා කිරීම හැර තමන් පෙරුම් පුරා ලැබූ මනුෂ්‍ය ආත්මයෙන් අන් කිසිදු ප‍්‍රයෝජනයක් ගැනීමට තබා කිසිදු වැඩදායී කර්තව්‍යයක් පිළිබඳ සිතීමටවත් ඔවුනට අවකාශයක් නොමැත. එය රාජපක්ෂ විසින් අමු අමුවේ ඝාතනය කොට ඇත. ඊට අපි මහින්ද චින්තනය යයි කියමු. ඇතැමෙක් ඉන් මෝහනයට පත් වී ඇත. ඇතැමෙක් මෝහනය පත් වී ඇති දැනීමට සලස්වා තමන්ගේ පුද්ගලික ආශාවන් ඉටු කර ගනිති. නමුත් මේ රටේ සිදුවන ඇත්තෙන් වසන් කොට ඇති අසරණයින් ඇවිදින මළමිනී බවට පත් කොට ඇත. මහින්ද චින්තනය නමැති උන්මන්තක වියරු ප‍්‍රකාශනයේ ප‍්‍රායෝගික භාවිතාව තුළ ඇති ඇත්ත වන්නේ එයයි. ඉන් දහදුක් විඳින මහජනතාවගේ මානසිකත්වය සැබෑම වූ ඛේදවාචකයක ප්‍රතිබිම්බයක් පමණි. මේ මහින්දට අනුව නම් ඔහු විසින් මවන ලද මායාවේ නිර්මාණය කොට ඇති ආසියාවේ ආශ්චර්යයි. නමුත් එය ඇත්තට අනුව නම් භූමිය තුළ නිර්මාණය වී ඇති ආසියාවේ ඛේදවාචකයයි.

Tell a Friend