රාජපක්ෂට සැලකු ආකාරය ගැන සුද්දන්ට දොස් කියන රැලිය හෙට

 වීරවංශ සහ සිල්වා රැලියේ සංවිධායකවරු ලෙස පත් කරති
කිසිම දෙයකට පොලිසියට මැදිහත් නොවන්නැයි ආරක්ෂක අමාත්‍යංශයෙන් නියෝගයක්

බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය සහ බ්‍රිතාන්‍ය කවුන්සලය තාවකාලිකව වසා දැමෙන ලකුණු

ජනධිපති රාජපක්ෂගේ ඔක්ස්ෆර්ඩ් දේශනය ආරක්ෂක හේතු මත කියමින් අවලංගු කිරීම ගැන උරණ වී සිටින ආණ්ඩුවේ ඇතැම් පිරිස් හෙට දිනයේ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරි පිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ඔක්ස්ෆර්ඩ් දේශනය අවලංගු කිරීම ගැන පැහැදිලි කිරීමක් කළ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය කියා සිටියේ අදාල සංචාරය සඳහා තම ආණ්ඩුව කිසිම ආකාරයකින් සම්බන්ධ නැති බවයි. එය හුදෙක් පුද්ගලික සංචාරයක් බවත් බ්‍රිතානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් සංවිධානය කළ එකක් බවත් සඳහන් වේ. එසේම අදාල කතාව අවලංගු කිරීම පොලිසිය සහ ඔක්ස්ෆර්ඩ් සංගමය ගත තීරණයක් බවත් දක්වා තිබේ.

මේ නිසා උරණ වී සිටින ශ්‍රී ලංකා ආණ්ඩුව හෙට දිනයේදී කොළඹ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරි පිටට පැමිණ තමන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමට සුදානම් කොට තිබේ. ඒ සඳහා සම්පුර්ණ වගකීම විමල් වීරවංශ සහ මර්වින් සිල්වා යන ඇමතිවරුන්ට පවරා තිබේ.

මේ අතර හෙට දිනයේදී කුමන තත්වයක් ඇති වුවත් පොලිසියට මැදිහත් නොවන ලෙසට විශේෂ නිවේදනයක් අද සවස් වරුවේ ආරක්ෂක අමාත්‍යංශය විසින් පොලිස්පතිවරයාට යවා තිබේ.

කෙසේ වෙතත් ලංකා ගාඩියන් වෙත අදහස් දැක් වූ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකශ කළේ, හෙට දිනයේදී තම කාර්යාලය යටතේ පාලනය වන සියලුම ඒකක තාවකාලිකව වසා දැමීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

Tell a Friend