පහරදීමෙන් ශිෂ්‍ය ව්‍යාපාරය විනාශ වන්නේ නෑ!

අන්තර් විශ්වවිද්‍යාල බලමණ්‌ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න

අමිල අබේරත්න

රජය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් මර්දනය කිරීමේ ක්‍රියාවලියෙන් පමණක්‌ නොනවතින බව රජයට විරුද්ධ සියලු පාර්ශ්වයන් මර්දනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් පවතින බව අන්තර් විශ්වවිද්‍යාල බල මණ්‌ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා ඊයේ පැවසීය.

රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිළිබඳ නරක ප්‍රතිරූපයක්‌ පසුගිය කාලයේ රටේ ජනතාවට මවා පෑ බවත් රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මර්දනය කිරීමේ ක්‍රියාවලිය මේ වන විට අසාර්ථක වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

තමාව අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ නීතියේ පවතින චෝදනාත්මක ක්‍රමය පදනම් කරගෙන නොවන බවද ඒ මහතා පැවසීය.

එය රජයේ අනුදැනුම පිට නීතිපති දෙපාර්තමේන්තුව මගින් ස්‌වාධීන නොවන පරිදි සිදු කළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර ඇති පරිදි පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට ඇති කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවද ඒ මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට බොරු චෝදනා ඉදිරිපත් කර අත්අඩංගුවට ගැනීම් වලින් හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහරදීම ආදී රජයේ මර්දනකාරී වැඩපිළිවෙළවල් වලින් කිසිසේත්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය විනාශ කළ නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tell a Friend