සිරකරුවන් 86 දෙනකු පැය 7 ක්‌ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන

දිනසේන රතුගමගේ

වවුනියාව බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන් 11 දෙනකු විසින් තවත් සිරකරුවන් 86 දෙනෙකු (29 දා) පැය 7 ක්‌ තිස්‌සේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගෙන සිට පසුව නිදහස්‌ කොට තිබේ.

වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි එක්‌ සිරකරුවකු අනුරාධපුරය වෙත මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් ගත් තීරණයට විරෝධය පළකරමින් සිරකරුවෝ 11 ක්‌ 29 දා දහවල් සිට බන්ධනාගාරය තුළ ආහාර වර්ජනයක නිරතවී සිටියහ. අනෙක්‌ සිරකරුවන් ඊට සහාය නොදැක්‌වීම නිසා ඔවුන් ප්‍රාණ ඇපයට ගෙන බන්ධනාගාරය තුළ සිරකොට තැබීමට එම සිරකරුවන් 11 දෙනා පියවර ගෙන තිබිණි.

වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරීවරයා හා බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන් සමග පැය 4 ක්‌ තිස්‌සේ කළ සාකච්ඡාවකින් පසුව ප්‍රාණ ඇපයේ සිටි සිරකරුවන් නිදහස්‌ කොට තිබේ. මේ වන විට වවුනියාව බන්ධනාගාරයේ ආරක්‍ෂාව දැඩි කොට ඇති අතර සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම පිණිස බන්ධනාගාර නිලධාරීහු පිරිසක්‌ වවුනියාවට පැමිණ සිටිති.

Tell a Friend